ප්රේමානිශංස
චන්ද්රරත්න බණ්ඩාර
එය කාගේ ප්රේම කතාවදැයි හඳුන්වා දෙනුයේ කෙසේද? හිරු නොබසින අධිරාජ්යයේ තේජස ලොව පතුරවන විට නැසිය නොහැකි වූ ලෝක උරුමයේ ඉන්දියානු උප මහාද්වීපික නටබුන් යළි නගා පිහිටුවන ප්රතිවීරයකුගෙන් පැවත එන වංශයක ෆේස්බුක් පරම්පරාවට අයත් මී මිනිබිරියක් හා ප්රේමයෙන් බැඳුණු, උත්සාහයෙන් උපයාගත් ධනය මෙන්ම සමාජ පිළිගැන්ම, ගෞරවයද වැර වෑයමෙන් උපයාගන්නට උත්සාහ කරන පරම්පරාවක රෙද්දට යටින් කලිසම ඇඳි, අධිරාජ්ය විරෝධය හා ඉංග්රීසි බැරිකම රෙද්ද නැමති කඩතුරාවෙන් වසාගත්, තමන්ට අලුත් ජීවිත කතාවකට මඟ කියාදුන් ඉංග්රීසින්ට ගරුකිරීමට ඊට යටින් කලිසමත් ඇඳි මිනිසෙකුගෙන් පැවත එන මුනුබුරෙකුගේත් ප්රේම කතාව ලෙසද?
එය එසේ හඳුන්වා නොදුන්නද ඉහත කී සාරාංශය ආදරය පසෙක ලා කියවූ විටෙක පවා මෙය හුදෙක් ප්රේම වෘතාන්තයක් පමණක් නොවන බව නොහැඟේද?
එලෙසම මේ සියළු පිටු අතර නැවත නැවතත් කියවෙන පරිදි එය සයුරූගේ හා නිරූගේ ආදර කතාව ලෙසට පමණක් නොව පවුල් දෙකක පරම්පරා විකාශනය මෙන්ම ලාංකීය සමාජය තුළ ජාතීන් දෙකක් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ පන්තිය හා සමස්ථ සමාජය ගැනත්, ආගමික, ආර්ථික හා ජීවන රටා පිළිබඳවත් කියවෙන. අධ්යයනයක හා ඉතිහාසය කාල් ගාමින් නොව සැබෑව කුමක්දැයි සිතීමට ඉඩ තබා වාර්තාකරණයෙන් ඔබ්බට ගිය සොඳුරු ලියවිල්ලක් ලෙස හඟිමි.
එය ඇතැම් තැන්හි හිත සනහන මිහිරිතම ගීයක් තරම් සොඳුරුය. ඇතැම් තැන්හි හදවත කැඩී බිඳී යන තරම් දුක පමණක් ඉතුරු කරමින් වැලපිල්ලක් බඳුව රාව නංවයි. ඒ සියල්ල අතර ප්රේමය ඇවැසි තැන දැල්වෙමින්, බුර බුරා ඇවිලෙමින්, නිවි සැනහෙමින් ගලා යයි. දුර ඈත අතීතයටම ඇවිද යයි. නැවත එයි. තනිව නොව කියවන්නාද සමඟ. නෙළුම් පොකුණ මාවත නමින් වෙනස් වූ ආනන්ද කුමාරස්වාමි මාවතේ සිට යාපනේ මනිපායි වෙතද, සීගිරිය, ඉබ්බන්කටුව වැනි පුරාවිද්යා කැණීම් බිම් මතද, එතෙකින් නොනැවතී ඉන්දියාවේ ධර්මශාලා වෙතද, දළයි ලාමා හමුවීම තෙක්ද ඇවිදවන්නේ ඒ ප්රේමයයි. ලාසාවේ රෝහලක සයනයක් ඉස්මත්තේ සාංකාවෙන් බලා සිටින්නට සලස්වනුයේද ඒ ප්රේමයයි.
සංතුෂ්ඨිය සොයා ගන්නේ කෙසේද යන්න අනෙකාගේ උපදෙස් මත හෝ මඟ පෙන්වීම මත සිදු වන්නක් නොවේ. එය තමා විසින් සොයාගනු ලබන්නේ කොතනින්ද, කාගෙන්ද, කුමකින්ද යන්න සැලසුම් සහගතවම සිදුවන්නක් විය හැකිද? නැත. එය එසේ විය යුතුද නැත. එකෙකුට එය අනුරාගය මුසුවුන මොහොතක් පමණක් විය හැකි අතර එය හමුවන්නේ අනෙකාගේ දෙලවන් මතද, ලැම මතද විය නොහැකිද?
එය පිරිමියෙකු හට ස්ත්රී ආත්මයකින්ම ලැබිය යුතු බවක්, ස්ත්රීයක හට පිරිමි ආත්මයකින්ම ලැබිය යුතු බවක් කීවේ කවුරුන්ද? විශ්වය ඇරඹුණු දා පටන් එලෙස ලියවුණු සීමා මායිම් තිබුණාද? එය එසේ යයි ඔබට කීවේ කවුරුන්ද? තවද සම්මතය එලෙස යයි අප විසින්ම ලියාගත් විරුද්ධ පාර්ශවික බැඳීමක් පවා නොසිතූ අයුරින්, ආගන්තුක තැන්හි ඇති නොවිය හැකිද? එවන් මොහොතක සංතුෂ්ඨිය නොපවතීද? එපමණක් නොව රිසි නොරිසි කම් මැද, තහනම් වුවද එය නොතකන මල්කෙමි සුව විඳින්නන්ගේ ඒ මොහොතේ සංතුෂ්ඨියේ පරම භාවය එහි රැඳී නැතැයි තවෙකෙකුට කිව හැකිද? එය එසේ රැඳෙන්නට, පවතින්නට හැකිය.
“ඔය මිනිස්සු හැමෝටම ජීවිතෙ කියල ලැබිල තියෙන්නෙ බොහොම ටිකයි. විඳින්න, දකින්න තියෙන්නෙ පොඩි දෙයයි. යුද්ධය දිනීම ඒ අයට විඳින්න තරම් ලොකු දෙයක්. ඒ අතරට මං වගෙ කෙනෙක් නිරුවතින් ගියොත් ඒ විඳිල්ල අර්බූදයට යනවා. යුද්ධය විඳින්නේ සාමුහිකව. ඒත් මගේ නිරුවත විඳින්න වෙන්නෙ තනි තනිව. තම තමන්ගේ තෘෂ්ණාව තරමට තමයි මං නිරුවතින් ගියොත් ඒක විඳින්නේ…” පිටුව 139
යුද්ධය නිමාවූ පසු දකුණේ කිරිබත් කෑ ජනතාව වෙත උතුරේ ජීවත් නොවූවද මුල් එහි රැඳුණු ලාංකීය වැසියෙකුගෙන් ලැබුණු අතුල් පහරක් බඳුය. එය එසේ පැවසූවෙක් සැබෑවටම නොවෙතත් යුද්ධය විඳි අය අතර නිරුවත් මනස් සහිත මිනිස් වෙස් ගත්තවුන් කොතෙක් සිටියාද යන්න සිහිපත් කරවයි. එය උතුරේ විප්ලවයේදී මෙන්ම දකුණේ විප්ලවයේදීද එලෙසමය.
තමන්ගේ ජාතිය නිසා ආඩම්බර නොවෙන මිනිසුන් ලොව ඇතිවා වන්නට පුළුවන. නමුදු ජාතිය නිසා කෝප වන්නන් නොමැත. කෝප වන්නේ ජාතියෙන් දමා ගැසීම හේතු කොටගෙනය. එය හැඟෙන්නේ කෙසේදැයි අවබෝධයක් නොමැති කල නිරූ එය පසක් කරදෙන්නීය. එය හුදෙක් ප්රේම කතාවක් පමණක් නොවන්නේ ඉතිහාසය පුරාවටම ගෙන ආ, ඉදිරියටත් ගෙන යතැයි සාංකාම උපදවන උතුර හා දකුණ යා කරන නොබිඳෙනා වූ බැම්ම නොව ජාතිවාදය පිළිබඳවද ඉඟි කරන නිසාවෙනි. එය මැදහත්ව දරාගන්නා, අවබෝධ කරගන්නා නිරූලා මෙන්ම පමාවී හෝ වටහාගන්නා සයුරුලාද ඒ අතර සිටිය හැක.
සියවස් ගණනාවක් අතීතයට මෙන්ම දශක ගණනාවක අතීතයටද ගොස් පැමිණෙන මෙකී වෘතාන්තය තුළ මෑත අතීතය තුළ ඉතිහාසය වෙනස් කළ තැන් සටහන් වන්නේ එතරම් වැදගත් නොවන දේ පිළිබඳව යයි අයෙකුට සිතිය හැක. එය එසේද?
“කලාභවන දරා සිටි “ආනන්ද කුමාරස්වාමි මාවත” “නෙළුම් පොකුණ මාවත” ලෙස වෙනස් කරන විට ලංකා භූමි තලය කම්පා වී දැයි මට සිතිනි. කලාභවනත්, රාජකීය ආසියාතික සමිතියත් දෙවුරින් දරා සිටි ආනන්ද කුමාරස්වාමි මාවත එක රැයෙන් නෙළුම් පොකුණ මාවත විය. ” පිටුව 18
එකී පුවත තුළ සැඟව ඇත්තේ ඉතිහාසය යයි උදම් අනන පැවතීම ගැනම සියුම් උපහාසයක්ද? තවත් තැනක එකී ඉතිහාසයම, එය සොයායෑමම මෙලෙස කියවේ.
“ඉතිහාසයයි, පුරාවිද්යාවයි කියන්නේ දෙදහස් පන්සියයේ කෙළවර හොයන එක විතරක් නෙමේ. මෑත අතීතයට අයිති, තවමත් තියෙන අතපත ගෑ උරුමය හොයන එකත් ඉතිහාසය. සීයට සීයක්ම නොවුණත් තරමක් හරි නිවැරදිව ඉතිහාසය ලියවෙන්න ඒකත් හේතු වෙනවා. නැත්තං මහානාම හාමුදුරුවෝ මහාවංශය ලිව්ව වගේ හිතට හිතෙන තමන් පක්ෂපාතී දේවල් ලියනවා… පේනව නේද ඒව අල්ලගෙන නටන නාඩගමේ විපාක… ඉතිහාසය කියලා ලියවිලා තියෙන්නෙ රජවරුන්ගෙයි ප්රභූන්ගෙයි වැඩ ගැන විතරක් නම් ඒ ඉතිහාසය හරි දුප්පත් සයුරු. ” පිටුව 191
“නගරයක්, එහි ජීවත් වූ මිනිසුන්ගේ හා ජීවත් වන මිනිසුන්ගේ හැඟීම් වහනය වන තැනකි.” පිටුව 235
එය එසේ යයි අපිට මඳකට වත් සිතුණාද? එසේ නම් අපි කොපමණ හැඟීම් මත හිත්පිත් නොමැති අයුරින් ඇවිද ගොස් ඇත්ද? අපේ හැඟීම් කී දෙනෙකු පාගා තලාපෙලා දමන්නට ඇත්ද? උදේ හවස යන එන හමුවන නගරය ගැන දැන් සුපුරුදු අයුරින් සිතන්නට හැකිද? එසේත් නොමැති නම් කිසිවක් පෑගි මියෙතැයි ප්රවේශමෙන් පා තබා යන්නට නොසිතේද?
මෙහි එක් තැනෙක නිරූ සයුරුගෙන් මෙසේ අසයි. “ජීවත් වෙනවා කියලා හිතෙනවා නේද?” සයුරුගේ පිළිතුර ඔව් යන්නයි. එය බැඳීමක දෙපසම ඇති වටහාගැනීම කොතරම් ද යන්න පවසන්නක් බව මගේ හැඟීමයි. එලෙසම නොගැළපීම් මත වෙන්ව ගියාවූ අහිමිව ගියාවූ ප්රේම බැඳීම් වල ජීවත් වූ එක මොහොතක් වත් තිබුණාදැයි විමසන්නට හදවතට කරන ආරාධනාවක් බඳුය. ඒ අප වෙතය.
මහා ප්රේමයක් දරාගෙන සිටින මේ පෙම්වතුන් දෙදෙනාගේ කතාව පමණක් නොවන මෙකී වෘතාන්තය තුළ තම පරම්පරාවේ සාඩම්බරයද සිත්හි දරාගෙන එය විවේචනය කරන්නට ඇවැසි තැන නොපැකිළෙන නිරූගේ රශ්මිය හමුවේ සයුරු තම පරම්පරාව පිළිබඳව ගර්වය හිරු දුටු පිනි මෙන් වියකී යනු බලා සිටින අවස්ථා ඇති බවක් හා දැඩි හීනමානයක් සෑමවිටම සිත තුළ රඳවාගෙන සිටින අයුරක්ද හැඟේ.
දූපතක් තුළ සිරවූ මානසිකත්වයකත්, ඉන් එහා විශ්වය දුටු මානසිකත්වයකත් වෙනස මෙබඳු ද?
“රටක් ඇතුළේ තව රටවල් ගොඩක් තියෙනවා. එකම භාෂාව වුණත් කතා කරන්නේ වෙනස් විදියට… බොඩි ලැන්වේජ් වෙනස්… ආගම අදහම විදිය වෙනස්… එහෙනම් ලෝකේ කියන්නේ කොච්චර සංකීර්ණ තැනක් ද?… නිදා ගන්නයි… පවුල් කන්නයි… කාලය ගියාම ලෝකයේ නෙවෙයි රට අස්සෙවත් තියෙන දේවල් හඳුනාගන්න වෙලාවක් ඉතිරි වෙන්නෙ නෑ… පිටුව 277
මේ සියල්ල අපි වටහා නොගත්ම දේ නොවන්නට හැක. එහෙත් ඒ වටහාගැනීමට අපිම ඉඩ නොදුන්නා විය නොහැකිද? එය ප්රේමයක ආනිශංසයක් නම් තමා සතුම වියයුතු නැත. අනුන් සතු ප්රේමයක වුව ආනිශංසය යහපතක් නම් එය ඉත සිතින් දරාගත යුතුය. ප්රහර්ෂය විඳ ගත යුතුය. නිරූලා, සයුරුලා වන්නට සියල්ලන්ටම හැකියාවක් නැතදු ඔවුන්ගේ අංශු මාත්රයක් හෝ උකහාගත් තැන්හි, හදවත්හි ප්රේමානිශංස හමුවනු ඇත.
“පාරමිතා ඇත්තේ ආගම දහමේ පමණක් නොවේ. ආදරයටද පාරමිතා ඇත. නුහුලනා වේදනා විඳිමින්, දන්නා නොදන්නා තැන් වල මා ඇවිදින්නේත් දැන් මේ මොහොතේ ලෝකයේ ඉහළම කඳු මුදුනක සැරි සරන්නේත් ඒ වෙනුවෙනි. අරමුණ සොයා යන ගමනේ අප්රමාණ ගමන් සගයෝ හමුවෙති.” පිටුව 380
එවන් ගමනක යෙදෙන අප අරමුණු සොයා යන්නෝ වුවද නොවූවද අප්රමාණ ගමන් සගයෝ හමුවේ. ඔවුන් අපට යමක් කියාදුන්, පුදදුන් අය නොවිය හැකිද? ඒ අතර තාවකාලික මුණගැසීමක වුව සෙනෙහසක කූටප්රාප්තිය විඳ තිබෙන්නට නොහැකි ද? එවන් සෙනෙහස් කොපමණක් එයට හිමි මායිම් වල රාමු කර ඇත්ද? හදවත් තුළ අගුළු දමා සිරකොට ඇත්ද?
මේ හැඟීම් අවදිවීම එක් කියවීමක ආනිශංසයකි. එය නමින් ප්රේමානිශංස ය. ඒ විඳීම පාඨකයා වෙත තිළිණ වන්නේ චන්ද්රරත්න බණ්ඩාර වෙතිනි.