වළාකුළු යනු නිදහස්ව සැරිසරන, ඇසිල්ලකින් වෙනස් වන ස්වරූපයෙන් පවතින්නාවූ දෙයකි. එවන් වූ වළාකුළු වලින් සැදුණු බැම්මක් යන්නම කුතුහලයකි. බැම්මකින් බැඳ තැබිය නොහැකි බොහෝ දේවල් වල එකතුවකට, නිදහස්ව සිතූ මිනිසුන්, නිදහස් වන්නට නොහැකිව ලතවුණු මිනිසුන්ගේ හැඟුම් එකතුවකට “වළාකුළු බැම්ම” යන නම කොතරම් ගැලපෙනවාද යන්න සිතීම උගහටය. “වළාකුළු බැම්ම” එවන් පොතකට නමක්? ප්රශ්නාර්ථය පසෙක තබමි.
එය එසේ තිබියේවා, වළාකුළු බැම්ම ලෙස ලාංකීය ජනතාව අතර වඩාත් ප්රචලිත මහනුවර අනන්යතාව පිළිඹිබු කෙරෙන ප්රධානතම සාධකයක් වන නුවර වැවේ බැම්මය. දේවේන්ද්ර නම් මූලාචාරියාගේ විශ්වකර්ම නිමැවුමක් වන එහිදී අහසේ මෙන් දිස්වෙන පරිද්දෙන් හා දියරැලි වල ස්වභාවය දිස්වෙන පරිද්දෙන් සැබෑව එසේම තිබියදී වඩාත් විචිත්රව දකින්නට හැකි අයුරින් නිමවා ඇත. සැබෑව යනු මතුපිටින් හැඟවෙන, පෙනෙන දේ පමණක් නොවේ.
වළාකුළු බැම්ම කෘතිය තුළද මනරම් භාෂා රටාවකින් වියමන්ව ඇත්තේ සැබෑව සෘජුවම නොපවසා සඟවා තැබූ අවස්ථා පාඨකයාට වටහා ගැනුමට බොහොමයක් අවස්ථා සලසා දුන් නිමැවුමකි.
පවුලේ එකම දරුවා ලෙස හැදෙන වැඩෙන පිරිමි දරුවෙකුගේ ජීවිතය වෙනස් වීමට බලපාන බොහෝ දෑ මෙකී වළාකුළු බැම්ම තුළ සිරකොට ඇති බවත් එහි ඉරිතලා ගිය තැන් මතින් කාන්දු වෙන බවත්, කැඩුණු බිඳුණු තැන්වලින් දෝරෙ ගලා යන බවත් ඒ සියල්ල අවසානයේ වළාකුළු යයි කියවෙද්දී දැනෙන සැහැල්ලුව දනවන චරිත වල ඇති හැඟුම්බර බවත් හැඟේ. ඒ සියල්ල තුළ සමාජ විපර්යාසයක ආර්ථික , සමාජීය හා දේශපාලනික මුහුණුවර ඇතැම් තැන්වල සියුම්වත්, ඇතැම් තැන්වල ගොරහැඩි ලෙසත් දැනුම් දෙනුයේ තමා සතු අතීතකාමයනටද ඉඩ දෙමිනි.
කුටුම්භයක් තුළ ලැබිය හැකි උපරිම මවකගේ ආදරයත් පියෙකුගේ සෙනෙහසත් ලබමින් වැඩෙන දරුවෙකු වන පියසිරි නම් වන දරුවාගේ ලෝකයේ වීරයා වනුයේ ඉතිහාසය තුළ සොයාගත හැකි අනේක තරම් වූ වීරයන් අතරින් කෙනෙක් නොව චිත්ර කථාවක වීරයෙකු කරවූ බෙලරෝපන් නම් අයෙකුය. එවන් වීරත්වයක් හෝ සිනමාපටයක දුටු වීරයෙකුගේ චරිතය තුළට පවා ඒකාත්මික වන්නට නොහැකිව ඇතැම් විට ලතවෙන පියසිරිගේ ජීවිතය තුළ පැහැබර ආලෝකයන් මෙන්ම අඳුරු සෙවණැලිද හොල්මන් කරන්නට පටන් ගනුයේ කුඩා කලදීමය. පියසිරි යන චරිතය අහිංසකව නිර්මාණය කරන කතුවරයා එය මෝඩයෙකුගේ චරිතයක් ලෙස සිතන්නට පාඨකයා වෙත අවකාශ සලසා නොදෙන බව මගේ හැඟීමයි. එකී සුකුමාර බව, ගැහැණියකගේ මෙන් යයි වර්ණනා කරන රුව මෙන්ම පියසිරිගේ ක්රියාකලාපය ඔහු පිළිබඳව යහපත් මනෝභාවයන් පාඨකයා වෙත ඉතිරි කරයි. එකී මනෝභාවයන් බිඳ නොදමා පියසිරි නිර්මාණය වන අතර ඔහු යථාර්ථය හා මායාව අතර තම සිතුවිලි සමඟ සැරිසරන බව හඟවයි.
එය මෙසේ සිදු විණැයි සෘජුවම පවසන වැකියකුදු නොමැතිව පරිච්ඡේද ගණනාවක් තුළ අතවර විඳින පියසිරිගේ ජීවිතය මෙන්ම මෙහි පළමු කොටස තුළ පාඨකයා සමීපව හඳුනාගනුයේ ලොකුමැණිකාගේ සහ පියසෝමගෙ නොසිඳෙන උල්පතක් වැනි වූ ආදරය බව මගේ හැඟීමයි. එය තමන්ට හිමිවූ එවන් සෙනෙහස පවා පාඨකයා වෙත සිහිපත් කිරීමට සමත් ය.
“මහ මුහුදත් මදිය කියා රස කිරි දුන් අම්මා
සතර අපායේ නොවැටී නිවන් දකින් අම්මා”
“රටාවක් බව මේ මහා විශ්වය
කුඩාකල සිට මට කියා දුන් අප්පච්චිට”
එවන් පුතෙකු ලද මව්පියන් නිවුණ බව කියවෙද්දී එවන් මව්පියන් ලද දරුවෙකුටද නිවෙන්නට තිබුණා නොවේද යන්න හැඟේ. නමුදු එකී නිවීම, ආලෝකය, ළමා කල සිහින දුටු වීරයා යන සියල්ලම පියසිරි වෙත ලැබෙනුයේ වනසුන්දර නම් වැඩිහිටි සිසුවා වෙතිනි. එකී රැකවරණය පියසිරිගේ ජීවිතය පුරාම හඹා ඒම මුල් අවස්ථාවේදී සැක සංකා ඇති කළද එවන් මිතුරුදමක් වෙනුවෙන් හදවතේ එක් තැනක් වෙන්කර දීමට පමණක් නොව ප්රාර්ථනා කිරීමටද ඉඩ සලසයි.
“මේ ජීවන අතෝරයන් පීඩිතයා වෙනුවෙන් අරගල කරන මිනිසුන්ට අයත් වන අනිවාර්ය ඉරණම් බව සිතමින් චේ ගුවේරා, ඇන් ඇම් පෙරේරා, විජේවීර ආදීන් ගැනද සිහිපත් කළේය. මේ සියලු දෙවියන් හා දෙවියන් වැනි මිනිසුන් අතර වනසුන්දර නම් නමක්ද තිබුණි.”
අසම්මතය සම්මතව කථාබහට ලක්වන, ඔවුන්ගේ අනන්යතාව එසේ යයි කියවෙන එක් කුලකයක් වෙත පාඨකයා යොමු වනුයේ රටදැය රකින පංච මහා බලවේග වල ඉහළින්ම වැජඹෙන්නන් සියල්ලෝම එයට සුදුසු නොවන බවද ඔවුන්ගේ නොනැසූ කෙළෙසුන් තවත් මනුෂ්ය ජීවිත වලට කරන බලපෑම කොතෙක්ද යන්න සමඟ සිත් සසල කරවමිනි. එය සියුම් ලෙස හඟවන්නට කතුවරයා සමත් වන අතර කොතනකදී වත් එය මෙසේ සිදුවිණැයි සෘජු ප්රකාශයක් සිදුනොවේ.
වළාකුළු බැම්ම තුළ දිගහැරෙන කතාව සුන්දර යයි සැමවිටම හඳුන්වා දීමට නොහැකිය. නමුදු එහි සුන්දර තැන් ඉස්මතු කරවීමට කතුවරයා නොපැකිළ ඉදිරිපත් වේ. එලෙසම පාඨකයා තුළ මැවෙන රූපරාමු සහිතව ඉදිරිපත් කරන්නටද සමත්වේ. සුකුමාර, ගැහැණු ගති සහිත පියසිරිගේ චරිතය එහි උත්කර්ෂවත්ම අවස්ථාවයි. නමුදු එකී චරිතයේ ප්රබලත්වයක් එයින් නොහැඟවේ. පියසිරි ප්රධාන කොටගත් අනෙකුත් භූමිකා මෙකී වෘත්තාන්තය තුළ කොතරම් සාර්ථකව රඟ දැක්වුනද ඒ සියල්ලම වනසුන්දර හමුවේ මැකීයන ආලෝකයන් බඳුය. එකී චරිතය දිග හැරෙනුයේ සීමාසහිත වපසරියක වුවද ප්රබලත්වය, එහි රශ්මිය පැතිරීම වළක්වාලිය නොහැක. දේවදූතයාගේ සිට ඩෙස්ඩමෝනා තෙක් පියසිරි විහිදෙන්නේ කුමන පරාසයකද ඊට වෙනස්ම වූ පුද්ගල ස්වභාවයක් වනසුන්දර තුළින් හඳුනාගැනීමට පාඨකයා පොළඹවයි.
පළමු කොටස ගැමි පරිසරයක හැදෙන වැඩෙන අහිංසක පියසිරි වෙනුවෙන් වෙන්වන විට එහි දෙවන භාගය ක්ලිෆර්ඩ් නම් නාගරික නමක් සහිත මව්රටෙන්ද පලායන්නට යෙදුණු තරුණයා වෙනුවෙන් වෙන්වේ. නමුදු ක්ලිෆර්ඩ් නම්වූ චරිතය හුදු අනුකම්පාව පමණක් හිමිවන චරිතයක් ලෙස ගොඩනැඟෙද්දී එහි අත්තිවාරමද වනසුන්දර නම් සුන්දර මිනිසා විසින් තනන ලද්දක් වීම කුමනාකාරයකින් විස්තර කළයුතු දැයි නොහැඟේ. එහිදී සෙල්විගේ චරිතය පවා ප්රබලත්වයෙන් උස්ව නැඟෙන අතර එකී උස් බව අතර ක්ලිෆර්ඩ් මෙන්ම ඈන් යන චරිතද මිටිව පෙනෙන්නට පටන් ගනී. ප්රේමයක් සමඟ බැඳුණු තැනක ඇති සුන්දරත්වය මෙන්ම මොහොතක පහස කෙරෙහි ලොබ බැඳ එයට ලොල්ව නතුවන ශාරීරික වශයෙන් පමණක් වූ බැඳීමක් අතර වෙනස මේ යයි සෘජුවම ප්රකාශ නොකර වටහා ගන්නට ඉඩ තබයි. කායික පහසක බැඳුණු තැනකදී ක්ෂුද්ර ආත්ම සේ දියව යන චරිත දෙකක් අබියස සෙල්වී දැවැන්ත රූපකායක් වනුයේ ඇගේ දේශපාලනික පසුබිම හා ජාතියත් සමඟය. එය හඳුනාගැනීම එකිනෙකා වෙත බලපානුයේ වෙනස් ආකාරයෙන් බව වටහාගැනීම පාඨකයා සතුය. තමා සතු කරගැනීමට ලොබ වන තරමේ
කඩවසම් පිරිමි ආත්මයක් ලෙස ක්ලිෆර්ඩ් නම්වූ චරිතය ඉදිරිපත් කිරීමේදී එයට පෞරුෂයද දැනෙන තරමට මුහුකිරීමට තිබුණා නොවේද ඇතැම් අවස්ථා වල හැඟේ. නමුදු සූරියකාන්ත මලකට සූර්ය රශ්මිය ඇවැසිමය.
“ලංකා දුපතෙන් ඔහු පිටමං කලේ අත් දහසකින් තනි මිනිසෙකු තල්ලු කරන අයුරිනි.එතැන් සිට ඔහුට බළල් ආත්මයක් ලැබිණි.බොහෝ උඩ සිට බිමට අත ඇරිණි. එහෙත් ජීවිතය සුදුසු පරිදි සකසාගෙන මහා පොළව මත පතිතව නිරුපද්රිතව ඔහු යළි ඇවිද්දේය.” අවසානයේදී කතුවරයා මෙසේ කියයි. ඒ තුළ සැඟවුණු සුබ පණිවිඩයක්ද ඇතැයි යන සතුට පාඨකයාට ඉතිරි කරගන්නට අවකාශ සලසා දුන් අවසානයක් සමඟ “වළාකුළු බැම්ම” නම් වූ කෘතිය නිමාවෙයි.