නිර්මාල් සහ සංගාට

මගේ විසිත්ත කාමර බිත්තියේ
එල්ලා නොමැත ඔබගේ පින්තූර
එහෙත් මහද බිත්තියේ
එල්ලා ඇත
පුරුෂ ගුණ ඇති ඔබ දෙපලගේ පින්තූර.

සිරිතින් අඳබාල ගැහැටියෝ
වදහිංසා කරන මුත් කිතු සිරුරට
බැඳී සිටින්න
ඔබගේ විශ්වාසදායක
ගුණ ගරුක හදවතටම

මල් පියලිවන් සොඳුරු කෙළිබිම
පිසාච පහසින් කෙලෙසන විට
බලය ඇතිවුන්,
තඩි මහත කෑදර මිනිසුන්
ගොදුරු කර ගන්නා විට…..

උභය කුලයම නොකෙළසුනු
කුමාරයකු වූ ඔබ,
වේදනා වින්දා පමණක් නොව
වේදනාව අරුත් ගැන්වීය.
කි‍්‍රකට් මහ ගෙදර මහ පුටුවටම නැග
අගේ‍්‍රෂ්වරයකුසේ නැඟූ සිහ නද
කැලඹීය
පිසාච සිංහාසන.

ඝන ගලපා තැබූ හෙයින්දෝ
මැනවින් ගැලපුන නමක් ඇති
නිර්මල – නිමල -නිර්මාල්
ඔබ
පුංචි සිරුරක් – ඒ තුළ සංවේදනා සපිරි මනසක්
සමාජ සංවේදනා ජයගන්නා
නැණ නුවණක්
දුකසේ උපයාගත්
පරාර්ථකාමී බුද්ධියක් හිමි වූ ඔබ
අයාලේ ගිය, සැප සම්පතට ලොල් වූ
බුද්ධිය අලෙවි කළ
සේරිවානිජයන් වූ සිය සගයන් අතර
නලපාන ජාතකයේ පිපාසිත වඳුරන්ට
දිය සපයා දුන්
නායක බෝසත් වඳුරා මෙන්
ආ මග වැරදි බව
අප කළ වැරදි බෝ බව
නැණසින් වරද දැන හැඳින
යළි මේ ගිනිගෙන දැවෙන දේශය මත
සිහිල් පැන් ඉසිය හැකි පිරිසත්
අපම බව පෙන්වා – එ් මග බෝ දුර යමින්
නොනවැතී අරගල කරන
ධීමතුනි,
ගස්නැති රටට එඬරුගසක් නොව
මහ නුග රුකක්ම වනු මැන.

අල්ලන පන්දමින්
කිව නොහැකි අදමිටු බවින්
ගිනියම්ව, ලේ වගුරුවන මේ රටේ
සිඳී යයි සිව් මහා ගංගාවන්ම
නොබලයි දෙවි බඹුන් කිසි කෙනෙක්
යහපත් මිනිස් සිත් සතන් සාංකාවෙන් පරල වී.

සපුමල් කුමාරයකු උපදින තෙක්
බලා සිටින පරල වූ එ් යහගුණැති මිනිසුන්ට
වෙන්න සපුමල් කුමරුවන්
නිර්මාල් – සංගා
අරගල දෙකක නිරත ඔබ දෙපළ.

චන්ද්‍රරත්න බණ්ඩාර.