දාර්ශනික කියැවීමකට මග හෙළි කරන පිංකම්පොළ

දාර්ශනික කියැවීමකට මග හෙළි කරන

කර්තෘ – චන්ද්‍රරත්න බණ්ඩාර

ප්‍රකාශනය – සන්ථව ප්‍රකාශනයක්

වර්තමාන නිර්මාණ සාහිත්‍යය විෂයයෙහි චන්ද්‍රරත්න බණ්ඩාරගේ මැදිහත් වීම බොහෝ විට ප්‍රකට වන්නේ නවකතා හරහා ය. ඔහු නොකඩවා නවකතා රචනා කරන්ෙනක් නම් නොවේ. ගෙවුණු වසරේදී ඔහු සිය අභිනව නවකතාව -‘වලාකුළු බැම්ම’ එළි දක්වන්නේ දහසය වසරක නිහඬතාවකින් අනතුරුව ය.

කෙසේ නමුදු චන්ද්‍රරත්න කෙටිකතාකරුවකු වශයෙන්ද, කවියකු වශයෙන්ද ලාංකේය නිර්මාණ සාහිත්‍ය පොහොසත් කරලන වග අමතක කළ යුතු නොවේ.

නවකතා විචාරයට අදාළ නොයෙකුත් පිවිසුම් අද දවසේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව සත්‍යයකි.ඊට මනා පිටුබලයක් සපයන්නේ නවකතා ම මුල්කර ගත් සම්මාන ප්‍රදානෝත්සව ආදියයි. එසේම නවකතා අලෙවියට වැඩි ඉඩක් සපයන ප්‍රදර්ශන ආදියයි. මේ අතරතුර ඇතැම් නවකතාකරුවන් පාඨක ආකර්ෂණය දිනා ගනු පිණිස නොයෙකුත් උපක්‍රම භාවිත‍ා කරන අවස්ථාද පවතී. ඉන් සමහර උපක්‍රම නවකතාවේ පසුබෑම් අවධාරණය කරන්නේ යැයි ද සිතේ.

‘වලාකුළු බැම්ම’ නවකතාවට පසුව චන්ද්‍රරත්න නිර්මාණ සාහිත්‍යය හා එක්වන ‘පිංකම්පොළ’කාව්‍ය ග්‍රන්ථය යට කී පසුබිම තුළ නොසලකා නොහැරීමට කල්පනාකාරී විය යුතුය. තවදුරටත් එසේ පවසන්නට සිදුවන්නේ කාව්‍ය ග්‍රන්ථ පිළිබඳ විවරණ ආදිය ප්‍රමාණවත්ව දක්නට නොලැබෙන හෙයිනි.යම් උනන්දුවක් කාව්‍ය ග්‍රන්ථ අරභයා වරින් වර ඉස්මතු වුවද එය දිගින් දිගිටම පවතින සෙයක් නොපෙනේ. මේ කාව්‍ය ග්‍රන්ථ විචාරයේ නොමඳ අවධානයට ලක් විය ය්‍රත්තකි.

චන්ද්‍රරත්න බණ්ඩාර ‘පිංකම්පොළ’ට ගෙන එන කාව්‍ය ගොන්න විමසීමට ප්‍රථම කළයුතු කාර්යයකි. ඔහු සිය පෙරවදන රචනා කොට ඇති ආකාරයයි. එක අතකට ‘පිංකම්පොළ’ පෙරවදන කාව්‍ය විචාරයට වුවමනා නව ප්‍රවිෂ්ටයක් කෙරෙහි සැලකිලිමත් වන මාදිලියේ රචනයකි.

චන්ද්‍රරත්න සිය පෙරවදන අරඹන්නේ තමාගේ ම කියා ප්‍රවර්ධනය කරන්නට තරම් නිශ්චිත කවි අ‍ාරක් තමා සතුව නොමැති බව පවසමිනි.

එහිලා ඔහු තවදුරටත් සිය කව්‍ය දැක්ම ප්‍රකට කරන්නේ නිර්මාණ විමසුමට ප්‍රථම පෙරවදන කියවීමේ අරුත් සරු බව යන්තමට හෝ අවධාරණය කරන පසුබිමක ය.

“පෙම් කවි සිය ගණනක් ලියා ඇති මම මගේ හොඳම කවි ඇත්තේ ඒ එක රසික ලියවිලිවල යැයි සිතමි. එසේම දරුවන් උදෙසා ලියා ඇති අප්‍රකාශිත කවිද එයාකාරය. ඒ බොහෝ කවි සදැස් කවි ආරට අයත් ය. ඒවා ලියවුණේ හුදකලා යාමයන් හිදී නොව කාර්යාලයේදී, ඕලාරික මීටින්වලදී, අවන්හල්වලදී, නගරාත්තර දුම්රියේ ඒකාකාර ගමන් බිමන්වලදී විය හැකිය. ඒ කවිවල එළිවැට සැක‍සු‍ණේ ඡන්දස් රීති, කාව්‍යාලංකාර ගැන කිසිම තැකීමක් නොකර තිබියදී හදවතේ නිපන් ඡන්දස් රීති හා කාව්‍යාලංකාර අනුව ය.”

පෙරවදනෙන් අනතුරුව දිග හැරෙන කාව්‍ය නිර්මාණ ගොන්න විනිශ්චය කරන කල්හි චන්ද්‍රරත්න බණ්ඩාරගේ එම දැක්ම කෙලෙස ප්‍රකට වන්නේදැයි සොයා බැලීමද රසිකයාගේ වගකීමක් වේ. එනම් රසිකයා හුදෙක් චන්ද්‍රරත්න බණ්ඩාරගේ කාව්‍ය නිර්මාණ පමණක් ම රස විඳිය යුතු නොවන වග යට කී පෙරවදන අවධාරණය කරන හෙයිනි.

සාමාන්‍යයෙන් නිර්මාණ සාහිත්‍යය තුළදී පෙරවදන ඔස්සේ කෙරෙන රසික කියැවීම් හා රසික ප්‍රතිචාර නිතරම දැක ගත හැකි නොවේ. කෙනෙකුට එය කතුවර ආධිපත්‍ය පතුරුවා හැරීමක් සේ පවසන්නට පුළුවන. කතුවර ආධිපත්‍යය සපුරා බැහැර කළ යුතු ප්‍රවිෂ්ටයක් සේ වරදවා වටහා ගත යුතු නැත. කොහොමත් නිර්මාපකයා රැඳි සිටිය යුත්තේ රසිකයාට ඉදිරියෙනි. චන්ද්‍රරත්න බණ්ඩාර සිය නිර්මාපක වගකීම පිළිබඳ අවබෝධයකින් පසු වන්නකුය යන්න පවසන්නේ ‘පිංකම්පොළ’හිදී පමණක් නොවේ. “මෙරු”. “වන සපුමල”, හැන්දෑ දුරය” හා “වලාකුළු බැම්ම” යන නවකතා රචනා කරමින් ඔහු නිර්මාපක වගකීම යන්න අවධාරණය කළේ හෙමින් සීරුවේ ය.

කලක පටන් විදේශයක වෙසෙන නිසා චන්ද්‍රරත්න බණ්ඩාරට ලාංකේය කලාපය නිසිව හසුවන්නේදැයි යන ප්‍රශ්නය පහසුවෙන් නගන්නට පුළුවන. ගෙවුණු සමය පුරාම ඔහු ලාංකේය කලාපයේ නොයෙක් පරිවර්තන කෙරෙහි දැක්වු නොමඳ සැලකිල්ල ඊට පිළිතුරු සපයනු ඇත. විශේෂයෙන් ම දේශපාලනික වෙනස්වීම් කෙරෙහි ඔහු තුළ වු අවධානය ප්‍රකාශයට පත් වු‍යේ ප්‍රබල අන්දමිනි.

‘පිංකම්පොළ’ මේ සියලු තතු මැද නිර්මිත නව්‍ය කාව්‍ය නිර්මාණ එකතුවක් ය යන්න පෙනී යන්නේ චන්ද්‍රරත්න බණ්ඩාරගේ විදේශ ගත වීමට පටහැනිව ය. කැනේඩියානු ජීවිතයද විෂය වු ‘වලාකුළු බැම්ම’ නවකතාවේදීත් ඔහු ප්‍රකට කළේ එම හැසිරීම මයි.

අනුපිළිවෙළටම ‘පිංකම්පොළ’ කාව්‍ය නිර්මාණ කියවාගෙන යද්දී වරින් වර ඉස්මතු වන එක් වැදගත් කාරණයකි. ඒ පාරම්පරික දැක්මකට හා විශ්වාස කිරීම් ආදියට අනුගත වීම කෙතරම් වරදකාරීදැයි යන හැඟිම රසිකයා තුළ තහවුරු කරලන්නට චන්ද්‍රරත්‍න බණ්ඩාර දක්වන කැමැත්තයි. තැනෙක එය ඉතා තියුණු මුහුණුවරක් ගනී. ඇතුළාන්තයද ඊට නොදෙවෙනිය. තර්කානුකූල හසුරුවාලීමක් යනු තමා මත පැවරුණු වගකීමක් සේ ඔහු දකියි.

ඇත්ත වශයෙන් ම කලා නිර්මාණ හා නිර්මාපක ශක්‍යතාව මෙන්ම, නිර්මාපක අභිමතය ද නොඉවසන පාර්ශ්ව හරහා පැමිණිය හැකි ආධානග්‍රාහී ප්‍රතිචාර වෙතින් ඔහු දුරස් වන්නේ එම තර්කානුකූලව හසුරුවාලීම නිසා ය. ඔහු උපක්‍රමශීලී කවියකු සේ ඒත්තු යන්නේ මෙබඳු ‍විටෙක ප්‍රකට කරන කළමනාකාරිත්වයද හේතුවෙනි.

“ලුණු පොල්බෑය ළඟ වළ දැමු

උපාසකම්මාගේ පිං කාසි පෙට්ටියේ

මුළු මුදල ම සම්මාදම් වු

අහුර අහුර මිටෙන් මිට එකතු වු

පිං හාල් ගෝනියට මිල වු මුදල ද

සම්මාදම් වු”

(බිමට ගිලිහුණු කොත් වහන්සේ, පි. 23)

මෙහි වර්ධනීය අවස්ථාවක් දැකිය හැක්කේ ඉනික්බිතිව ය.

“වෙහෙර වැට කොට වැලි මළුවකි

ඒ වටකොට වලාකුළු බැම්මය”

“අනිවාරතේ ගැබ්ගත් ගැහැනියක් ගැන

වල් නෙළන ගැහැනුන් කියන

රති රාග මිශ්‍රිත

ස්වයං වින්දන රසකතා

වෙහෙර වහන්සේට

නෑහෙන්නට තැනු

වලාකුළු බැම්මය.

(වලාකුළු බැම්ම, පි.25 )

තවත් නිදසුනක් මෙසේයි.

“දැන් වයස

අවුරුදු අනුපහක්

චෛත්‍ය කොත පළන්දන දා වෙනකොට

දාහතරේ පහළොවේ ගැටිස්සියක්

එදත් උඩුකය නිර්වස්තරෙන්

ඒ උඩුකය වහන්න බැරි කාලෙ

අදත් උඩුකය නිර්වස්තරෙන්

මහන එක කරදරයක් හින්දා”

(පිංචි, පි. 31)

‘පිංකම්පොළ’ හි ප්‍රශස්තම නිර්මාණය ‘වලාකුළු බැම්ම’යැයි සිතේ.

චන්ද්‍රරත්න බණ්ඩාරගේ දැක්ම ඔහුගේ හොඳම පාඨකයන්ගේ දැක්ම සමඟ මුසු වන අපුර්වතම අවස්ථාවක් ලෙසින්ද ‘වලාකුළු බැම්ම’ හඳුනා ගත හැකි ය.

කවි බස, එදිනෙදා බස් වහරෙන් බිඳුණු ප්‍රකාශනයක් සේ අවධාරණය කරනු පිණිසඳ චන්ද්‍රරත්න බණ්ඩාර මෙහිලා උත්සාහ කරයි. කිසියම් නුහුරු ලාලිත්‍යයකින්ද එය පොහොසත් ය.

චන්ද්‍රරත්න බණ්ඩාර කිසියම් දාර්ශනික කියවීමකටද මනාප වග හඟවන්නට ඇතැම් විට උනන්දු වෙයි. වැදගත්ම දේ එම ප්‍රවිෂ්ටයයි.

“හීන් අඳුරු වළල්ලක්

හිරු වටේ සිට රැකවල් කළා ආලෝකයට

මං කිව්වා

මගේ යටි පතුල් රිදෙන වග….

ඔබේ දෙතොල් සුදුමැලිව තිබුණා

තෝන්තුවා මුහුණ මත

මං ආපහු යන කොට

නිදිකුම්බ ගොල්ල ඇහැරී තිබුණා

එත් එදා දුටු ඔබේ ඒ මුහුණ

මට දැන් මතක නෑ”

(නිදිකුම්බා ගහනයක, පි. 18)

‘වලාකුළු බැම්ම’ හා ‘පිංචි’ යන කාව්‍ය නිර්මාණ හැරුණු කොට නිර්මාණශීලී ව කවි බස හසුරුවාලන්නට චන්ද්‍රරත්න බණ්ඩාර සමත් වු හොඳම අවස්ථාද මෙ‍හිලා සඳහන් නොකරම බැරිය.

දශක දෙකතුනකට එපිට නාගරික ප්‍රේම සම්බන්ධයක් විෂය කරමින් ඔහු මෙසේ පවසන්නේ ඒ අනුව ය.

“ච‍ාරයක් ඇතිව හිනාවුණු ඔබ

ගවුමේ ඉරි නොතැ­ෙළන්න වාඩි වුණා

ඊළඟ අසු‍නෙ මම

ඒ අසුන පතා මං……. පහනකුත් තිබ්බා දෙයියන්ට”

(70 දශකයේ ප්‍රේමය, පි.17)

සමකාලීන ලාංකේය සමාජය විනිවිද යමින් ඒතුළ පවත්නා නොපෑහීම් හසු කර ගන්නට චන්ද්‍රරත්න බණ්ඩාර සිය කවි බස භාවිත කරන්නේ සුලබ දේශපාලන සාකච්ඡා පළමු වටයේදී ම බැහැර කරමිනි. බෙර වයන්නෙකුගේ දිවි සැරිය අලළා කළ නිර්මාණ ද්විත්වය ඊට නිදසුන් ය.

ඉන් එක් නිර්මාණයක් මෙසේ අවසන් වෙයි.

“මැරෙන්න ඉස්සර

කුලුඳුලේම යන

කුඹල් පෙරහැරත්

බලන්න ආසයි

නුවර පෙරහැරේ.

මැරෙන්න ඉස්සර

අන්තිම දවසේ

රන්දෝලි පෙරහැරත්

බලන්න ආසයි

නුවර පෙරහැරේ.”

(විශ්‍රාම ගිය බෙර වයන්නාගේ පුවත, පි. 38)

‘පිංකම්පොළ’ හි එන සියලු කාව්‍ය නිර්මාණ සම මට්ටමක නොවෙයි. වඩාත් හුරුපුරුදු දෑ සමඟ කෙරෙන ගනුදෙනු කිහිපයක් ම වේ. නමුත් එහිදි ආපස්සට යෑමේ වුවමනාවක් චන්ද්‍රරත්න බණ්ඩාර නොපෙන්වයි. ජාම බේරා ගන්නට ඔහු සමත් වන්නේ සමහරවිට පළපුරුද්ද නිසාම ය.

නවකතාකරුවකු වශයෙන්ද, සමහර විට දේශපාලන විචාරකයකු වශයෙන්ද මෑතකදී චන්ද්‍රරත්න බණ්ඩාර පෙරට එන්නේ කවිය‍ාගේ භූමිකාව තරමක් දුරට හෝ බැහැර කරමිනි. ‘පිංකම්පොළ’ පවසන්නේ කවියාගේ භූමිකාව නිරූපණය නොකර සිටින්නට ඔහු අසමත් වන බව ය.