“නිරූ”
“ප්රේමානිශංස”
චන්ද්රරත්න බණ්ඩාර
:
“තමන් දන්නා දේ පිළිබඳ නිවැරදි අවබෝධය ඇති.තමන් පිළිබඳව ම විශ්වාස කරන මෙන් ම,පියාසරන්නේ කෙලෙසදැයි දන්නා ගැහැනිය සමඟ ප්රේමයෙන් නොබැඳෙන්න.
:
තව බොහෝ ගුණාංග වලින් යුත්
:
“ඇය ඔබ සමඟ සිටිය ද නොසිටිය ද,ඇය පෙරළා ඔබට ආදරය කළ ද නොකළද,ඇය සමඟ බැඳුණු ප්රේමයෙන් ඔබට කිසිදා අත්මිදෙන්නට නොහැකි වන්නේ ය.”
ලාංකීය සමස්ථ ස්ත්රී ප්රජාවෙන් සියයට හැටකටත් වඩා ඉක්මවන ඉහත කී සහ නොකී ගති ලක්ෂණ සහිත ගැහැණුන් නියෝජනය කරමින් “නිරූ”
කරළියට නැං වූ,කතුවරයාණෙනි ඔබට මගේ කෘතවේදී ස්තුතිය පළමුව.
(නොකී ගති ලක්ෂණ කියවා ගැනීමට පෙර වදනක් නැති පසුවදනක් නැති ඔබේ පොතේ මුල්ම උධෘතයේ සේයාරුව පළමුව දක්වමි.දකිමි ඒ වෙනසෙහි වෙසෙසින් වෙනස් වූ පොත් සැකැස්මක්.අගයමි.)
කතාව ඔබ දුවවන්නේ දෘශ්යමාන ගැටුමක් නොමැති රේල් පීලි දෙකක් ඔස්සේය.
පොරෝලිස් මුහන්දිරම් ගේ මීමුනුබුරෙකු වූ,සයුරු සහ සර් මුතු කුමාරස්වාමි ගේ මී මිනිබිරියක වූ නිරූ ගේ living together
ජීවිතය පුරුද්දන්නට සිල්පර කොටන් සමාන්තරව අතුරා ඇත.ඓතිහාසික වශයෙන් වූ අතීතකාමය, දෙදෙනා අතර වූ පරස්පර හා සමාන වූ සංස්කෘතික රටාවන්,
කතා නායකයා වන සයුරු ගේ භින්න මනෝභාවයන් හා ඒ නිසාම වූ පෞරුෂ දුබලතාවයන්,නිරූගේ ජානමය ශක්තිවන්තකම්, සිත්ගන්නා සුළු ප්රේමණීය ගැහැනියක සතු වත්කම්, අපේ ඉතිහාසය ,යුද්ධය,ලාංකීය දේශපාලනය,
වත්මන් අනවශ්ය ,නිශ්ඵලවෙනස්කිරීම්,
උපහාසාත්මක ව සහ ගෞරවණීයව
පිරියම් කළ ආගමික සංකල්ප සහ ආකල්ප ,ඓතිහාසිකඋරුමය,සෞන්දර්මය චාරිකා,මානව හැඟීම් සංකලනය හා ඝට්ටනය , ප්රේමයේ හා රාගයේ විඳීම් යනාදී බොහෝ දෑ වශයෙන් ගොනුකොට, ස්පර්ශනීය වශයෙන් මටසුමට ව, ඒවා අතුරා , රේල් පීළි අතර සමාන්තර බව රැකෙන සේ, සහසම්බන්ධ කර ඇත්තේය.
සයුරු ගේ වදන් වලට අනුව
” නිරූ අයත්වන්නේ යාපනයේ බ්රාහ්මණ වංශික හා එංගලන්තයේ වංශාධිපති පවුල් මිශ්රණයක් ද සහිත නූතන පරම්පරාවකට ය.”()
“නිරූගේ සීයා උඩරට හා රදළ වළව්වලත්,පූජ්යස්ථාන,උඩරට විශ්වකුල ගම්මානවලත් ඓතිහාසික ව වැදගත් බොහෝ ස්ථානවලත් සැරිසැරුවේ විශ්ව ප්රසාදයට පත් පර්යේෂණවලට අදාළ තොරතුරු එකතු කරමිනි.”(පිටු අංක 18)
“කුමාරස්වාමිලා ලෝක ඉතිහාසය පුරා බර අඩි තබමින් ඇවිද ගියෝය.”(පිටු අංක 19)
තම සීයාගේ චාරිකා පිය සටහන් ඔස්සේ
පා තබමින් සීරුවට ගමන් කරමින්, එහි සුවඳ ආඝ්රාණය කරමින් ,සමානව සැළකීමේ හා ආදරය කරුණාව පෑමේ මානුෂීය සුගන්ධය පතුරවමින් සංචාරය කරන මේ යුවතිය අපව ආත්මගතකර ගන්නේය.
මඬ පුවක් විකිණූ, අරක්කු රේන්ද මඟින් පොහොසත්ව,එය වසා ගැනීමට මිණිරන් පතල් හිමියෙකු වූ තම මුත්තාගේ පැලැන්තියේම පවුල් ඉතිහාසයෙන් මානසිකව වැටෙන්නේ සයුරු ය. ජීවිතය සොඳුරුව විඳින්නට තරම් මෙම අතීත දුමාරය ඔහුට ඉඩ නොදෙයි.අතීතය පමණක් නොව දැඩි බෞද්ධ අන්තවාදී ඇදහීමෙන් තම අතීතය සුදු පිරියම් කරන්නට වෑයම් කරන තම පවුලෙන්, ඔහුගේ වත්මන ද අඳුරු කර ඇත.
පුරා විද්යාව පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු,,ගෘහ නිර්මාණ ශිල්පියෙකු වශයෙන් , වර්ණාලේපිත, නිරූගේ ගමන් සගයා වූ ඔහු හා ඇගේ වාසය අප මේ මොහොතේ අත්විඳින්නක් බවට පත්කිරීමට කතුවරයා සමත්ව ඇත.එය දැනේ.මෙය කියවන මට දැනේ.ඔබට ද දැනෙනු ඇත.
පුරාවිද්යා බිම් නිරීක්ෂණ කණ්ඩායම් සමඟ ද,තනිවද,මේ දෙදෙනා නරඹන සීගිරිය,මාපොතාන,දෙගල්දොරුව
දළදා මැදුර,යාපනය යනාදී බොහෝ ස්ථාන වල,ඓතිහාසික වටිනාකම්, රැඳවුණු හෙළ අභිමන්, රැවටීම් ,හැළුණු කඳුළු ලෙය,කතුවරයා සත්යවාදී, සාධාරණ දැනුමෙන් අපව පොහොසත් කරයි. සමාජ විද්යාත්මක,මනෝ විද්යාත්මක ,දේශපාලන විද්යාත්මක ආදී බහුවිධමානයන්හි ,ස්පර්ශනීය කළයුතු බොහෝ තැන්වලට නිර්භයව , තාර්කිකව හා මැදිහත්ව අතපෙවීම අගය කරනුයේ කතුවරයා විවිධ දැනුමින් පොහොසත් වීම පිළිබඳ ගෞරවණීය ආචාරයක් ද සමඟය.
හැම පරිච්ඡේද යකම ආරම්භයේ ඇති භගවත් ගීතපාඨ හෝ සංහිඳියාමය අධ්යාත්මික පෝෂණයන් අපව යම් අදෘශ්යමාන තලයක දැහැන් ගත කරවයි.
නිද:
පරිච්ඡේද ය 24
“තද සුළඟ විසින් යාත්රාවක් දිය මත පා කරන්නාක් මෙන්,නිදැල්ලේ සැරිසරන හැඟුම් විසින් බුද්ධිය ඉවතට රැගෙන යයි.
භගවද් ගීතා 2:67″
නිරූගේ මී මුත්තණුවකුවූ,කුමාරස්වාමි
කෙනෙක්,ඉංග්රීසි ආණ්ඩුකාරවරයාගේ රාජ්යතන්ත්රිකයෙකු ලෙස,ශ්රී ලංකාවේ අවසන් රජු සමඟ සමීප සබඳතා පවත්වයි. භගවත් ගීතාවේ වේද ගීත ගයමින්,අරුත් පහදමින් ,රජුගේ සිත පහන් කිරීමට ඔහු ගත් උත්සාහය දක්වන කතුවරයා,මෙහි ඒවා දක්වමින් කෘතගුණ සැළකීමක්කළා යැයි හැඟේ.
බොහෝ වපසරියක් පුරාම සමාන්තර රේලිපීළි මත දුවන මෙම දුම්රිය ,භාෂාවෙහි සරළ හා මටසිළිටි කමින්ද,සොඳුරු ස්ත්රී පුරුෂ ප්රිය තෙපුළින් හා ආලිංගනයෙන් ද, ආත්මීකරණය වූ මානව ධර්මතාවයන්ගෙන් පොහොසත් වීමද,විටෙක යම් අන්තර් මිනිස් ක්රියාකාරිත්වයන්හිදී සංස්කෘතිකමය ප්රශ්ණාර්ථයන් තබමින් ද ,පාරිසරික ආශ්වාදය විඳින්නට වැඩි ඉඩකඩක් දෙමින් ශීඝ්ර නොවූ එමෙන්ම මන්දගාමී නොවූ සංචාරයක් බැවින් , ගමනෙහි වෙහෙසක් නොදැනෙන්නේය.උදාසීනකමක් නොවන්නේය.
ඇසි දිසි මානයේ වත්මනෙහි සැරිසරන එය නොදැනීම අතීතයේ උමං මාර්ග තුළ කිමිදීම අප ආශ්වාදනීයව සතපවාලන්නේය.
නිරූ,මම සයුරු ගේ හෘදාභ්යන්තරය ගැහෙන හඬින් ඔබව දකිමි.
“නිරූ යන එන තැන විහිදෙන ඇගේ ප්රභාශ්වරයට බාල මහළු වෙනසක් නැතිව
මිනිසුන් ඇදී ඒ.මම ඒ ආකර්ශණයට බියවෙමි.ඒ ඈ අහිමි වීම පිළිබඳ මට දැනෙන අනියත බිය නිසාද?”
ප්රේමය ශෝකය ම උපදවයි බස සනාථ කෙරෙමින් ,නිරූ ඔබ ,සොයා උන්මාදයෙන් දිශානතියකින් තොරව ,පීරූ ,ගංවතුරේ රොන් මඬ තවමත් නොවේළුණු කේදර්නාත් බිම පුරා මම ද ඔහු තනිනොකරමින් ශෝකීව සැරිසැරුවෙමි.
සංවේදී,ආදරණීය ගැහැණියක් ලෙසද,ස්වකීය ආත්මීය නිදහස වෙනුවෙන් සැලෙන ගැහැණියක් ලෙසද ,ද්විත්ව චරිතයක දෝලනය වූ නිරූ සැබවින්ම ඔබ ,ස්ත්රී පෞරුෂය මේ යැයි ලොවට හඬ ගා කියන්නේය. ඕනෑම ස්ත්රී ආත්මයක් තම ආත්මගෞරවයට හානි සිදුවෙන තැනක, ආත්මාභිමානය අවතැන් කරන වපසරියක රැඳෙන්නේ නැත.සැනෙකින් පලායන්නේය එබැවින්,ඔබ සදොස් කිරීමේ හෝ නිදොස් කිරීමේ කිසිදු අයිතියක් සමාජයට නොමැත්තේය. නිරූ ,ඔබට මෙතෙක් ආ ගමනේ වෙහෙස දැනුණිද?වේදනාකාරී , මංසන්ධියේදී ඔබ ගත් තීරණය වර්ගවාදයෙන් නොව මනුශ්යත්වයේ නාමයෙන් සමාජගත කරන ලද සමපාතී පණිවිඩයකි.
කවුරුන් කෙසේ ,කුමක් කීවද,මම ඔබට ආදරය කරමි..
හිතවතුනි,ඔබත් නිමක් නැති “ප්රේමානිශංස”සෞන්දර්ය සංචාරයට ගොඩවී ඉතිරිය නරඹන්න.
ඉතිං ලේඛකයාණෙනි, ඔබට
2022 ස්වර්ණ පුස්තක සම්මාන කිරුළ ලැබීම අරුමයක් නොවන්නේමය.ඔබේ ලිවීමට වාසනාවන්ත දිගු ගමනක් පතමි.ස්තුතියි .