ප්‍රේමානිශංස විඳිමි 🖤

නුවර සරසවි පොත්හලෙන් ප්රේමානිශංස මිලදී ගෙන මාසයක් ගෙවී ඇත. එය කියවා හමාර කළේ අද හැන්දෑවේ වුණත් එය කියවීම පටන්ගත්තේ මිලදී ගත් දිනයේමයි. ප්රේමානිශංස යනු එක හුස්මට කියවා අවසන් කිරීමට ලෝභ නවකතාවක් වූයෙන් එය එසේ විණැයි සිතමි. ඇතැම් දිනවල එහි පිටුවක් හෝ දෙකක් කියවූ අවස්ථා ද තිබේ. ප්රේමානිශංස කියවා හමාර කොට ඒ පිළිබඳ මුහුණු පොතේ සටහනක් තැබීමට තරම් සිතක් පහළ වූයේ එහි මතු කියවෙන දෑ විඳ ලැබූ අපමණ සුවය නිසා යි.

ප්රේමානිශංස ලියූ චන්ද්රරත්න බණ්ඩාර යනු මගේ ප්රියතම පොත වූ වළාකුළු බැම්ම කෘතියේ රචකයා යි. ප්රේමානිශංස පොතක් ම නොවේ. ප්රේමානිශංස යනු චාරිකාවකි. මධුවිතකි. දර්ශනයකි. සිනමාවකි. සිතුවමකි. ගීයකි. ශ්ලෝකයකි. පිරිතකි. එය එසේ වූයේ කෙසේ ද?

කුමාරස්වාමි පරපුරේ වර්ථමාන පුරුකක් ලෙස කතාවට එකතු කරන නිරූ කුමාරස්වාමි සහ යටත්විජිත ශ්රී ලංකාවේ ස්ථාවර වූ දේශීය ධනේශ්වරයේ වර්ථමාන පුරුකක් ලෙස එකතු කරන සයුරු විලමුලගේ යන චරිත දෙකෙහි පෙර නොවූ විරූ ප්රේම අන්දරය ප්රේමානිශංස තුළ කියවෙයි. එය කිනම් ආකාරයක ප්රේම කතාවක් ද යන්න කීමට මගේ බස නොව, බස පොහොසත් නැත. ඒ මන්ද යත් බසේ ඉමට එහායින් දැනවෙන හැඟීම් පාර්ශවයක එය පිහිටන නිසා යි. එම නිසා ඒ ප්රේම අන්දරය විඳීමට නම් පොත කියවිය යුතු ම ය.

ප්රේමානිශංස තුළ කියවෙන බොහෝ චරිත, ස්ථාන සහ සිදුවීම් ආදිය පුරාවිද්යාව හදාරන අපට වඩා සමීප නිසා එය දැනෙනවා වැඩිය. මදුරාසියේ සිට දිල්ලිය දක්වා සංචාරය කොට ඇති නිසා ඉන්දියාවේ මෙහි කියවෙන බොහෝ සංස්කෘතික භූ දර්ශන මට සමීප ව දැනෙයි. ප්රේමානිශංස තුළ මතුවෙන ථේරවාදී, මහායානික, තන්ත්රයානික, හින්දු සහ අවශේෂ බොහෝ දර්ශනයන් සහ සංස්කෘතික ලක්ෂණ ඔස්සේ ප්රේමානිශංස ඔබව තවත් චින්තනමය තලයකට කැඳවනු ඇත.

ජීවිතය විඳින ගැහැනු සහ මිනිසුන් ගැන කියවීම තරම් සනීපදායක බවක් මම පොත්වලින් තවත් නොලබමි. ඒ අතින් ප්රේමානිශංස කිහිප ගුණයකින් පොහොසත් ය. අප අපගෙන් මුදවා වෙනත් ගමනක ගෙනයාමටත් ඒ ගමනේ වරින්වර අපට අපව මුණගැස්වීමටත් ප්රේමානිශංස සමත් ය.

පොතේ අන්තර්ගතය පිළිබඳ අංශු මාත්රයක හෝ දෙයක් කීමට නොයන්නේ ඔබ ද මා මෙන් ම එය කියවා විඳිය යුතු නිසා යි. නමුත් එහි අවසානය පිළිබඳ මා මෙසේ සටහනක් තැබිය යුතු ය. මෙහි අවසානය මල් කෙමියක් ඇදගෙන ම කියවීමට ලැබීමට මම වාසනාවන්ත වීමි. චන්ද්රරත්න බණ්ඩාර ලොකු චාරිකාවක් රැගෙන ගොස් අවසානයේදී පිය විප්පයෝගයත් පිය සම්පයෝගයත් එකට ලබා දී හිමාලයේ කඳු අතර නගරයක විශාල හෙලකින් අපව පහතට අතහරියි. ඉඳින් මම තවමත් තුෂ්නිම්භූත ව පාවෙමින් පහළට ඇද වැටෙයි.

චන්ද්රරත්න බණ්ඩාර සාහිත්යකරුවෙක් ලෙස සිය කාර්යයේ මුඳුනක ම සිටින බව කියා මේ සටහන අවසන් කරන්නේ මෙය කියවන කාට වුණත් ප්රේමානිශංස කියවීමට ඇරයුම් කරමිනි.

🖤
බුද්ධිෂ ජයශාන් වීරසූරිය
20.11.2021
Source : https://www.facebook.com/buddisha.weerasuriya.9/posts/953729158832887