“ප්රේමානිශංස”
(2022 ස්වර්ණ පුස්තක සම්මානය / විද්යෝදය සම්මානය)
කර්තෘ : චන්ද්රරත්න බණ්ඩාර
පිටු : 424
ප්රථම මුද්රණය : 2021
පස් වන මුද්රණය : 2022 – සැප්තැම්බර්
මිල රු. 1590/=
සරසවි ප්රකාශනයක්.
————————————————-
මේ 2021 දී ප්රකාශයට පත් වූ නවකතාවක් වුවද මා එය මිලදී ගත්තේ 2022 BMICH හි පැවති පොත් ප්රදර්ශනයේදී ය. මේ පොතට 2022 වර්ෂය සඳහා ස්වර්ණ පුස්තක සම්මානය සහ විද්යෝදය සම්මානය හිමි විය. මා මේ පොත මිලදී ගැනීමට එයත් එක හේතුවක්.
මුලදී පොත කියවන විට තරමක “බෝරින්” ගතියක් දැනුණි. එහෙත් පිටු 25 – 30 ක් කියවූ පසු මට දැනුණේ, පොත දිගටම කියවාගෙන යෑම සඳහා කුමක්දෝ බන්ධනයකට මා හසු වූ බවකි. ඒ නිසා තරමක් වේගයෙන් පොත කියවීමට මා පෙළඹුණා කිව්වොත් නිවැරදියි. එහෙත් මේ පොත එතරම් වේගයකින් කියවීමට සුදුසු පොතක් නොවේ. මෙහි අන්තර්ගත කතාන්තරය, එහි මතු පිට ස්වභාවය, යටි පෙළ, චරිත වල ස්වභාවයන් ආදිය සියුම්ව විමර්ශනය කරමින් වටහා ගනිමින් කියවිය යුතු පොතකි, ප්රේමානිශංස.
චන්ද්රරත්න බණ්ඩාර මේ ලියන්නේ ඔහුගේ 7 වන නවකතාවයි. එසේම සම්මානයකට පාත්ර වූ ඔහුගේ දෙවන නවකතාවයි. මීට පෙර 1992 වසරේදී කතුවරයාට මුල් වරට සම්මානයක් හිමි වන්නේ “වනසපු මල” නවකතාවටය. ඒ, ඩී. ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානයයි. එවකට ඉතා වැදගත් සාහිත්ය සම්මානයක් වූ එය පිරිනැමුණේ අප්රකාශිත සිංහල නවකතා අතරින් තෝරා ගත් හොඳම කෘතියටය.
ප්රේමානිශංස නවකතාව තුළින් කතුවරයා අපට කියන්නේ එක්තරා අන්දමක ප්රේම කතාවකි. ඒ සයුරු විලමුලගේ නම් සිංහල තරුණයා සහ නිරූ හෙවත් ශ්යාම් කුමාරස්වාමි නම් දමිළ තරුණිය ගේ ආදර කතාවයි. එහෙත් මෙය හුදු ප්රේම කතාවක් පමණක් නොවේ. ඔවුන්ගේ ප්රේමය පෙරටුවේ තබාගෙන, මෙරට සමාජ දේශපාලන සංස්කෘතික විශමතාවයන්ගේ එක්තරා පැතිකඩක් කතුවරයා අපට විවරණය කර පෙන්වයි. එය රසවත් කරවීම උදෙසා මෙරට කලාව, සාහිත්ය, ගෘහ නිර්මාණ ශිල්පය, ආදිය මනාව මිශ්රණය කරමින් කතුවරයා ස්වකීය අපූර්ව වියමන ගද්ය කාව්යක් ලෙසින් අපට ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ ඔහු පොදු ජනයාගේ ආධ්යාත්මයේ සැබෑ ස්වරූපය, ඉහල ධනපති පන්තියේ නිරුවත පඨකයාට ඉදිරිපත් කරන්නේ අප තුළ පහන් සංවේගයක් ඇති වන අයුරිනි. මේ කරුණ පහත ඡේදයෙන් වඩාත් තහවුරු නොවේද?
“සිංහල රාජ්ය බිඳ වැට්ටවීමේ කාර්යයේ දී ඉංග්රීසීන්ගේ අරමුණ ජය ගැනීම වෙනුවෙන් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ මුත්තණු වූ ඒඩ්රියන්ට ද, බණ්ඩාරණායකගේ සීයා වූ ක්රිස්ටෝපර් හෙන්රික්ස්ට ද, පැවරී තිබුණේ කුමාරස්වාමි ට වඩා රුදු වගකීමකි. ඒ ගමනේ දී කුමාරස්වාමි මහනුවර බලා සුදු අසෙකු පිට නැඟී යන විට ඒඩ්රියන් සහ හෙන්රික්ස් ගියේ පයිස් සහ බර කරත්ත වලිනි.” (150 පිටුව)
මේ කෘතිය පුරා ආනන්ද කුමාරස්වාමි නම් වූ ශ්රේෂ්ඨ ලාංකිකයා උත්කර්ෂයට නංවා තිබෙනු දක්නට හැකිය. ඒ තුළින් කතුවරයා අපෙන් අසන්නේ, ලෝක කීර්තියට පත් වූ ලාංකිකයකු වුවත් ආනන්ද කුමාරස්වාමි පිළිබඳ සිංහලයා තුළ තවමත් අඩු තක්සේරුවක් ඇත්තේ ඔහු දමිළ ජාතිකයකු නිසා නොවේද යන්න බවයි මගේ අදහස. එය තහවුරු කරන දෙබසක් මේ පොතේ 178 පිටුවේ හමුවේ. එය මෙසේය :
“කුමාරස්වාමි පවුලේ උරුමක්කාරියක් විදිහට මං මෙහේ ආව පළමු වතාව. බොහෝ විට අන්තිම වතාව වේවි… අන්තිම වතාව වේවි කියලා මගේ හිත කියනවා. මගේ මුත්තා මුතු කුමාරස්වාමි කසාද බැන්දේ සුදු ජාතික වංශාධිපතිනියක් වෙච්ච එලිසබෙත් ක්ලේරා බිබී. මගේ සීයාත් එහෙමයි. මං ඒ පවුල් ගහේ වෙන අත්තක තවත් කුඩා ඉත්තක් විතරයි කුමාරස්වාමි උරුමය තියෙන” (178 පිටුව)
නිරූ හෙවත් ශ්යාම් මේ වදන් පවසන්නේ ඇගේ පෙම්වතා වන සයුරු සමඟ යාපනය සංචාරයක යෙදුනු අවස්ථාවකය. වෘත්තීයෙන් ගෘහ නිර්මාණ ශිල්පියකු වන සයුරු, නිරූ සමඟ ප්රේමයෙන් බැඳෙන්නේ පුරා විද්යාව ඉගෙන ගැනීමට යොමු වූ අවස්ථාවේදීය. සයුරු අපට පවසන පරිදි, ඊට පෙර ඔහු යුවතියන් කිහිප දෙනෙකු ඇසුරු කර තිබුණද, ප්රේමයේ ආධ්යාත්මය ඔහුගේ සිත පතුලටම කිඳා බැස්වූ සුන්දර යුවතිය වන්නේ නිරූය. ඒ නිසාම සමාජ සම්මතයන් නොසලකා හරිමින් ඔහු නිරූ සමඟ එකට ජීවත් වීමට තීරණය කරයි.
සයුරුගේ පියා වූ කලී මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්දිස්ථානයකට උරුමකම් කියන පෙළපතකින් පැවත එන්නෙකි. මෙරටට මත් පැන් අලෙවි කිරීමට බ්රිතාන්ය ජාතිකයින් තීරණය කිරීමත් සමඟ එම ව්යාපාරයට සම්බන්ධ වූ මුල් පෙළේ සාමාජිකයකු වන්නේ සයුරුගෙ මුත්තාය. මිනිරන් පතල් කර්මාන්තයේ යෙදී සිටි ඔහු පසුව අරක්කු රේන්ද ව්යාපාරයට සම්බන්ධ වීමෙන් කෝටිපති ව්යාපරිකයකු බවට පත් විය. එපමණක් නොව මෙරට ධනපති පංතියේ නිර්මානයටද ඔහු දායක වෙන්නේ, තම පරපුරට එම ව්යාපාර ජාලය උරුම කර දෙමිනි. මුලදී බටහිර ජාතීන්ට පක්ෂපාතීත්වයක් දැක් වූ විලමුලගේ පරම්පරාව, පසුව සිංහල බෞද්ධ සමාජය හා බද්ධ වන්නේ අනගාරික ධර්මපාල තුමාගේ ආභාෂයෙනි. මෙය වූ කලී මෙරට ඉතිහාසයේ ව්යාපාරික ධනපති පංතියේ පරිණාමයේ එක් සුවිශේෂී ලක්ෂණැයකි.
1948 නිදහස ලැබීමෙන් පසු මෙරට ස්ථාවර ව්යාපාරික ප්රජාවක් බවට පත් වීමට නම් තමන්ද සිංහල බෞද්ධ සංකල්පය පිළිගත යුතු යැයි එම ධනපති ව්යාපාරික පංතියට අවබෝධ විය. එහි ප්රතිඵලය වන්නේ, පාරම්පරික ගැමි සිංහල බෞද්ධ ජනතාව සතුව තිබූ බෞද්ධ උරුමය ව්යාපාරික පංතියක බලපෑමට හසුවීමයි. මේ කරුණ “ප්රේමානිශංස” කෘතිය තුළින් කියා පෑමට කතුවරයා සියුම් උත්සාහයක් දරා ඇත.
ප්රේමයේදී සිත් රිදවීම්, බිඳ වැටීම් සිදුවීම ස්වාභාවිකය. එසේ වූ කළ පෙම්වතුන්ගේ සිත් තුළ ඇති වන්නේ මහා මේරු පර්වතයටත් වඩා විශාල දුක් කන්දරාවකි. එය තුනී කර ගැනීමට නම් බොහෝ දෙනෙකුට අවශ්යම වන ප්රතිකර්මයක් ඇත. ඒ තමන්ගේ සිතේ ඇති දුක තව කෙනෙකු හා පැවසීමයි. සයුරු හා නිරූ අතර ඇති වන අනපේක්ෂිත බිඳ වැටීම හමුවේ පරාජිතයකු වන සයුරු, තම දුක බෙදා ගැනීමට හමු වන්නේ නිරූගේ මිතුරෙකු වන කෙවින් ය. සුවිශේෂී සමාජ තලයකට අයත් කෙවින් ගේ මුවින් මේ වදන් පිට වන්නේ සයුරු සමඟ බියර් වීදුරුවක් පානය කරමින් සිටින සන්ධ්යාවකය:
“ඔයාට කියන්න ඕනෑ ටික කියන්න…. මං අහගෙන ඉන්නං…. මං පුළුවන් ඒවට උත්තර දෙන්නං… ශ්යාම් කියන්නේ හොඳ ඇහුන්කන් දෙන්නෙක්. She is a good listner. එයා වෙනුවෙන් ඔයාගේ ඕනෑ දෙයක් මට අහගෙන ඉන්න පුළුවන්… හිතේ හිරකරගෙන ඉන්නවට වඩා ගහකට, ගලකටවත් සතෙකුටවත් කියන එක වටිනවා. අපේ ගෙදර මං කතා කරන ගහක් තියෙනවා… අපේ ගෙදරමං කතා කරන දේවල් තේරෙන බල්ලෙක් ඉන්නවා. මං අඬනකොට එයාගෙ මූණ දුක්මුසු වෙන හැටි මං දැකලා තියෙනවා…” (228 පිටුව)
සයුරුගේ චරිතය කතුවරයා ගොඩ නගා ඇත්තේ ඉතා අපූරු ක්රමවේදයකටය. පරම්පරාවේ ගරුත්වයත් ව්යාපාරික පසුබිමත් විසින් හික්මවනු ලැබූ සයුරු, ප්රේමය නම් විචිත්ර සළුව ඇඟ දවටාගෙන වෙනස් ඇසකින් ලොව දකින්නට, විඳින්නට වෙහෙසෙන්නෙකු ලෙසයි මට හැඟුණේ. ඒ බව ඔහුම පවසන මේ සහටනින් පැහැදිලි නොවන්නේද?
“මපියා මගේ නිදහස් ගෘහ නිර්මාණ ශිල්පී ජීවිතය වඩාත් වෘත්තීමය කර ගන්නා ලෙසත්, එලෙසින්ම තමා ඇවෑමෙන් මේ දේපළ හා ව්යාපාරයන් භාරගන්නට පුහුණු වන ලෙසත් මට විටින් විට ඇවිටිලි කරයි. පවුලේ එකම දරුවා වීමේ කරුමය මම ගෙවමින් සිටිමි. මා අවනත විය යුත්තේ මගේ ආත්ම පත්ල තුළින් මතුව එන කැමැත්තටද? එසේ නැත්නම් පාරම්පරික උරුමයේ වියමනටද?” (278 පිටුව)
මේ ඡේදය සයුරුගේ චරිතය පමණක් නොව, මෙරට ව්යාපාරික ධනපති පන්තියේත්, පරම්පරා ගර්වයය හිස මුදුනේ තබාගෙන සිටින ඇතැම් බලවත් අයගේත් චරිතය විනිවිද පෙන්වන කැඩපතක් බඳුය. චන්ද්රරත්න බණ්ඩාර මේ ඔස්සේ එකී පන්තියටත් සමාජයටත් තම සියුම් සදය උපහාසය යොමු කර සිටී.
මේ පොතේ මා වඩාත් අගය කරන්නේ, නිරූ ගේ වෙන් වීමෙන් පසුව ඇය සොයා සයුරු ඉන්දියාවේ කරන සංචාරය ඇතුළත් කොටසටය. එහිදී සයුරුගේ වියෝ සිතේ කාංසාවත්, ඉන්දියාව, නේපාලට, ටිබෙටය ආදී රටවල සංස්තික හා ආගමික පසුබිමත් කතුවරයා විස්තර කරන්නේ රස වෑහෙන චමත්කාර ජනක අන්දමිනි. එහිදී ඇත්ත වශයෙන්ම මාද එකී සංචාරයට මනසින් එකතු වූ බවක් මට හැඟුණි. එහෙත් දලයි ලාමා පිළිබඳවත් ටිබෙට් බෞද්ධ වත් පිළිවෙත් පිළිබඳවත් කතුවරයා ඉදිරිපත් කරන විස්තරය, මූලික කතාවේ හරය ඉක්මවා යෑමක් ලෙස මට දැනේ.
ප්රේමානිශංස රචනා කිරීමේදී කතුවරයා අනුගමනය කර ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. එනම් සයුරු අපට කියන ඔහුගේ කතාව ලෙසින් ප්රේමානිශංස රචනා වී ඇත. ඒ තුළ ඇති කාව්යමය රචනා ස්වරූපයත්, නිර්මාණශීලීත්වයත් කියවන්නා තුළ කුතුහලයක් හා අපූරු රසවත් කමක් ඇති කරවීමට කතුවරයා සමත් වී ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
අපි ජීවිත කාලය පුරා විවිධ වේශයෙන් ප්රේමය අත් විඳිමු. එසේ අත් විදින ප්රේමයේ හැඩ තල, සුන්දරත්වය, ආනිශංස ඒ ඒ ප්රේමයට අනුකූල වේ. චන්ද්රරත්න බණ්ඩාර, සයුරු – නිරූ ප්රේමයේ හැඩ තල, සුන්දරත්වය මතින් ඔවුනොවුන් ලබන ප්රේමානිශංස අප වෙතද ලබා දී ඇත. එය විඳ ගැනීමට නම් මේ කෘතිය නිවැරදිව කියවා ගත යුතුය. විමර්ශනාත්මක කියවීමක් හුරු පාඨකයාට එය අසීරු නොවන බවයි මගේ විශ්වාසය.
ප්රේමානිශංස කියවා අවසන් කර දින කිහිපයක් ගත වුවද මේ සටහන ලියන්නට ප්රමාද වූයේ මා ද ඒ ප්රේමානිශංස අත් විඳිමින් එහි ඇලී ගැලී සිටි නිසාය. මේ සටහන වූ කලී, ප්රේමානිශංස කියවීමේදීත්, කියවා අවසන් වූ පසුවත් මගේ සිතට නැගුණ අදහස් සමුදායක් විනා පොත අරභයා සිදු කරන විචාරයක් නොවන බව අවධාරණය කළ යුතුය.
පොත කියවා අවසන් වූ පසු මගේ සිතට මෙබඳු අදහසක් පහළ විය : නිරූ වැනි යුවතියක් මගේ පෙම්වතිය හෝ බිරිඳ වෙනවා නම් මැනවයැයි මට සිතුණි.