‘ප්‍රේමානිශංස’ නිරායාසයෙන් ගලායන කතාන්දරයක් නොවේ

චන්ද්රරත්න බණ්ඩාරයන්ගේ ‘ප්රේමානිශංස’ නව කථාව කියවූවෙමි.
මා ඕස්ට්රේලියාවට සංක්රමණය වී ගතවූ වසර අටක් පමණ කාලය තුළ දී සිංහලෙන් පළවූ නවකතා පොත් සියයක් පමණ කියවන්නට ඇත. ඒ අතුරෙන් මෙම නවකතාවට මුල් තැනක් දිය හැකි බව නිසැකය.
අප පදිංචිව සිටින වික්ටෝරියා ප්රාන්තයේ විසිරී ඇති පුස්තකාල ජාලයේ ස්ථාන කිහිපයකම ඉතා හොඳින් පවත්වාගෙන යන, නිරතුරුවම නව පොත් එකතුවන, සිංහල අංශය බැගින් ඇත. පුස්තකාලයට ගොස් පොතක් තෝරණ අවස්ථාවක ‘ප්රේමානිශංස’ හමුවිය. තරමක් විශාල මෙම පොතෙහි පිටකවරයෙන් පොත පිලිබඳව කිසි අවබෝධයක් නොලැබුණි. එහෙත් පිට කවරයේ පසුපස, කතුවරයාගේ අදහසක් වියහැකි පහත දැක්වෙන සටහන කියවූ විගස, පොතෙහි යම් හරවත් බවක් ඇති බව හැඟුණි.
“පොල් මලේ සාරය නම් දිව්යමය දියරය ඇසුරෙන් ……. රජෙකුට ඇවැසි දේ සොයා යන නුතන රජ දරුවෙකි.”
“මනුෂ්යත්වයට හිමි මහිමාව නිසා දේවත්වයට සමීප උතුම් මිනිසෙකුගේ පිය සටහන් මත, සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියකි.”
‘ප්රේමානිශංස’ වෘතාන්තයේ ප්රේමවන්තයෝ මේ දෙදෙනාය.
කතුවරයා පොතෙහි ඇති තම ‘පිදුම’ මගින්, තම ගුරු සේනක බණ්ඩාරනායක මහැදුරු තුමා අමතයි. මෙහිදී ඔහු හංස සංදේශයේ “සිතින් සිතන්ටවත් බැරි මෙතොප යාපත” නම් පද්යයේ පදවැලක් යොදාගැනීමද අපූරු පිවිසුමකි.
1956 වසරේදී, SSC විභාගය (මෙකල අපොස සාමාන්ය පෙළ) සඳහා සිංහල විෂයය හදාරනවිට, අපගේ ගුරුතුමා මෙම පද්යය ඇසුරෙන් ගුරුවරයෙකුගේ අගය චිත්ත රූප මැවෙන ආකාරයට එදා අපට පහදා දීමද මට මැවී පෙනිණ. එදා අපගේ ගුරුවරු මෙන්, මෙදා සයුරු සහ නිරූ ප්රේමවන්තයින්ගේ ගුරුවරුද, ගුරු මුෂ්ටි නොමැතිව ශිල්පය බෙදා දුන් බව පොතෙහි කිහිප පළකම සඳහන්ය.
‘ප්රේමානිශංස’ නිරායාසයෙන් ගලායන කතාන්දරයක් නොවේ. එහි බොහෝ තැන්වල ඉතිහාසය, හින්දු සහ බෞද්ධ ආගමික සංකල්ප සහ පුදපූජා, ස්වභාව සෞන්දර්යය, පුරාවිද්යාව, ගෘහ නිර්මාණ ශිල්පය වැනි පෞරාණික අදහස් උදහස්ද, මිනිස් සමාජයට පිළිලයක් බඳු කුල භේදය සහ ජාති වාදය පිළිබඳවද විවරණයක් කරයි.
පරිච්ඡේද බෙදීමේදී මේ ගැන සැලකිලිමත් වී තිබේ. ආරම්භයේදී, හංස සංදේශයේ පද්යයක කොටසක් මහඇදුරු පිදුමට යොදාගත් ආකාරයට, පරිච්ඡේද බෙදීමේදීද, භගවත් ගීතාව වැනි සම්භාව්ය භාරත ග්රන්ථවල උපුටනද, යොදාගෙන තිබේ. මෙය කියවන්නාට තරමක් වෙහෙස කර බවක් දනවයි. සමහරවිට උපුටනයේ අර්ථය පරිච්ඡේදයේ තිබේදැයි සොයන්නෙකුට යළිත් වරක් එය මුළුමණින්ම පවා කියවීමට සිදුවන අවස්ථාද එමටය.
ශතවර්ෂ දෙකක පමණ කාලයක් තුළ එක් තැනකට ගොනු නොවී, විවිධ ආකාරයට විසිරී ගොස් තිබුණු පුරාවෘත්ත, අධ්යාත්මික විශ්වාස, ආගමික ඇදහිලි, වාර්ගිකත්ව සහ කුලගෝත්ර වගතුග ආදිය නවකතාවක ස්වරූපයෙන් මෙසේ එළි දැක්වීම ප්රසංශනීයය.
‘ප්රේමානිශංස’ කර්තෘ, චන්ද්රරත්න බණ්ඩාරයන්ට අපගේ සුබ පැතුම්.
දයාරත්න වීරසේකර