ප්‍රේමානිශංස – කියවා හමාර කළ නො හැකි නවකතාවක්

මාතලේ දිස්ත්‍රික්කයේ ඉබ්බන්කටුව පුරාණ  සොහොන් බිම කරා පැමිණි පර්යේෂක කණ්ඩායමකි. ප්‍රකට හා ප්‍රවීණ පුරා විද්‍යාඥයකු පර්යේෂක කණ්ඩායම මෙහෙයවන්නේ පුළුල් අර්ථ ජනනය විය හැකි ඉසව් සැඟවීමකින් තොරව ය.  කතා නායක සයුරු නම් ධනවත් තරුණයා හා නිරූ නැමැති ඔහු හා දිවි ගෙවන පෙම්බර තරුණිය ද මේ පර්යේෂක කණ්ඩායමේ ය. යථෝක්ත පුළුල් අර්ථ පිළිබඳ සඳහනට මේ යුවළ අත්‍යන්තයෙන් ම ගැලපේ.

දවසේ කාර්යයන් නිම කළ පුරා විද්‍යාඥ බණ්ඩාරනායක සිය පර්යේෂක කණ්ඩායම වෙතින් විමසුවේ මෙහි නිදන මානව අවශේෂයන්ගේ සැබෑ ජීවමාන ජීවිත සහිත මේ වටාපිටාව නැවත එපරිද්දෙන් ම නැගී සිටියහොත් ඔබට සිතෙන්නේ කුමක් ද යන්න යි.

පිළිතුරු දුන්නේ සයුරු ය. එසේ නම් නූතන මිනිසා සොයාගෙන ඇති බොහෝ සිද්ධාන්ත අහවර වන බව යි ඔහු පිළිතුර සේ පැවසුවේ. සයුරු තව දුරටත් මෙය විස්තර කරයි. අප අවට ඇති සෑම න්‍යායක් ම නූතන යුගයට සාපේක්ෂ බව ද, ඉතිහාසය නූතන යුගයේ ම නිර්මාණයක් බව ද, සැබෑ ඉතිහාසය එහි නියම වේශයෙන් වර්තමානය දක්වා පැමිණියහොත් ඩයිනෝසරයකුට අලියකු හමුවීමට සමාන බව ද ඔහු පවසන්නේ තමා සුපුරුදු පන්නයේ මිනිසකු නො වන්නේය යන්න ඉඟි කරමිනි.

චන්ද්‍රරත්න බණ්ඩාර සිය නවතම නවකතාව වන ‘ප්‍රේමානිශංස’ මෙසේ රචනා  කරන්නේ මෙම ඉතිහාසය පිළිබඳ අරුත් දැක්වීම වර්තමාන  යථාර්ථයක් කරනු රිසියෙනි. ඊට සුදුසු ම චරිත දෙක තුනක් ඔහු නිර්මාණය කරන්නේ ඕපපාතික ලක්ෂණ ආදියෙන් විනිර්මුක්තව ය. මෙහිලා සයුරු හා නිරූ ප්‍රමුඛ වෙති. නවකතාව දීර්ඝ වෘත්තාන්තයක් සේ ඉදිරියට ගලා නො යාම නිසා සයුරුට හා නිරූට සිදුවන්නේ ඒ ඒ අවස්ථා විෂයෙහි රැදී සිට  චන්ද්‍රරත්න බණ්ඩාරගේ අභිප්‍රාය කුළු ගන්වනු වස් ක්‍රියා කරන්නට ය. මෙහෙයින් ම ‘ප්‍රේමානිශංස’ තුළ එන සයුරු හා නිරූ, චන්ද්‍රරත්න බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන හා හසුරුවනු ලබන නළුවකු හා නිළියක බඳු යැයි සිතේ.

‘ප්‍රේමානිශංස’ , සයුරුට හා නිරූට අදාළව අතීතය හා වර්තමානයත්,උපකල්පන හා අපේක්ෂාත් එකම තලයක් පිහිටුවාලන නවකතාවක් සේ හඳුනා ගැනීම යුක්ති යුක්ත ය. සයුරු හා නිරූ යුවළගේ අතීත සම්බන්ධතා  විමර්ශනයට  චන්ද්‍රරත්න බණ්ඩාර සැලකිය යුතු පරිශ්‍රමයක් දරයි. එහිලා ඔහු හසු කර ගන්නා සුවිශේෂතා නවකතාවේ අපූර්වත්වය තහවුරු කරන්නේ නිරායාසයෙනි. එමෙන් ම සයුරු හා නිරූගේ එකගෙයි කෑමට ද ඉන් ලැබෙන අනුප්‍රාණය අපමණ ය. සයුරු, අරක්කු රේන්ද හා මිනිරන් කර්මාන්ත හරහා ධනවත් වූ පරම්පරාවක වර්තමානය යි. නිරූ සුප්‍රකට ආනන්ද කුමාරස්වාමි පරපුරේ වර්තමානය යි. මේ පරම්පරා  ද්විත්වය දෙස ම තුලනාත්මකව බලන්නට  චන්ද්‍රරත්න බණ්ඩාර පසුබට නො වේ. සූක්ෂ්මව හැසිරෙන ඔහු ඉන් ජනිත වන ප්‍රශ්නකාරී අවතීර්ණ වීම් විශ්ලේෂණය කරන්නේ කිසිදු කලබලයකින් තොරව ය.

මෙතැනදී ඔහු පක්ෂග්‍රාහී පිළිවෙතක් කරා නො පැමිණීමට දරන තැත අපැහැදිලි නො වේ. ඉතා පහසුවෙන් ම ඔහුට නිරූගේ පක්ෂය අනුමත කරලීමේ හැකියාව තිබිණි. ඊට මතුපිටින් ‘ප්‍රේමානිශංස’ කියවන කිසිවකුත් අකමැති නො වනු ඇත. ඒ තරමට ම ආනන්ද කුමාරස්වාමි විශිෂ්ටයෙකි. නිදහස්කාමී ජීවිතයක් ගත කරන  නිරූ දෙස වපරැ’සින් නො බැලීමට ද ඔවුන් ප්‍රවේශම්  වනු ඇතැයි  සිතේ.සයුරුගේ පියා පිළිබඳ සනිටුහන් කිරීම් සමඟ චන්ද්‍රරත්න බණ්ඩාර නව මානයකට නවකතාව රැගෙන යාමට උත්සුක වෙයි. ඒ සයුරුගේ පියා එක්තරා ප්‍රමාණයකට හෝ නිදහස් මතධාරියකු වන වග පවසමිනි.

චන්ද්‍රරත්න බණ්ඩාර උපක්‍රමශීලීව ප්‍රබල සංකේතයක් ගෙන හැර පාන්නේ අතීතය හා වර්තමානය යා කරලීමේ වුවමනාවට අදාළ ව ය. ඒ සයුරුගේ නිවස පිහිටි භූමියේ  තව දුරටත් පවතින අරක්කු ගුදම යි.එබඳු නිශ්චිත සංකේතයක් නිරූට අදාළ  වන පරිදි  ප්‍රකාශ කිරීමට ඔහු උත්සුක නො වෙයි. නවකතාව කෙමෙන් විකාශය වන්නේ මේ සංකේතය චරිතයක් බවට පත් කරලමිනි.

මෙබඳු සංකේත මෑතදී ප්‍රකාශිත නවකතා කිහිපයක ම දක්නට ලැබේ. චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ ‘චක්‍රවර්ති’ හි එන්නේ වජ්‍රායුධය නැමැති බලසම්පන්න වස්තුව යි. කත්‍යානා  අමරසිංහගේ ‘බාන කුසුම්’ හි එන්නේ දැවයෙන් නිර්මිත ස්ත්‍රී රූපයකි. කෞශල්‍ය කුමාරසිංහගේ  ‘නිම්නාගේ ඉතිහාසය’ හි එන්නේ මුහුණේ පිහිටි උපන් ලපයකි.

අතීතයෙන් ගැලවීමක් නොමැති බව යි චන්ද්‍රරත්න බණ්ඩාර මෙන් ම මේ නවකතාකරුවන් ද කියා සිටින්නේ.ඔවුන් අවධාරණය කරන්නේ අනාගතය ද මේ අතීත සංකේත විසින් හසුරුවලනු ලබන්නට ඉඩ ඇති බව යි. ඉන් උද්ගත වන විවාදාත්මක කතිකාව අතිමහත් ය. චූලාභය , කත්‍යානා , කෞශල්‍ය සේම චන්ද්‍රරත්න බණ්ඩාර ද ඊට ගැඹුරක් හා සාරගර්භ ලක්ෂණ සපයයි.

‘ප්‍රේමානිශංස’ , වාර්තනුරූපී හැඩයකින් සමන්විත නවකතාවක් ය යන්න පැහැදිලි ය. එක හුස්මට කියවිය හැකි උත්තේජනයක්  ‘ප්‍රේමානිශංස’  සිය පාඨකයා වෙත ලබා නො දෙයි. දීර්ඝ විග්‍රහ විටෙක පාඨකයා වෙහෙසට පත් කරන සුළු ය.නමුත් නවකතාවේ හරය හසු කර ගන්නට නම් ඊට අනුගත වනවා හැර විකල්පයක් නොමැත. මෙය චන්ද්‍රරත්න බණ්ඩාරගේ පූර්ව නවකතා වෙතින් එ පමණටම දක්නට නො ලැබුණු තත්ත්වයකි.කෙසේ නමුදු මෙතැන දී චන්ද්‍රරත්න බණ්ඩාර ආපසු ගමනක නිරත වූ වග පැවසීම නම් අසාධාරණ ය. ඔහු සිදු කොට ඇත්තේ නවකතාව අර්ධ වෘත්තාන්ත ස්වරූපයකින් හා ස්වභාවයකින් ඉදිරිපත් කිරීම යි.

‘ප්‍රේමානිශංස’ , කෙමෙන් ජීවිතයේ අර්ථය කුමක්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු සොයමින් විකාශය වන්නේ එකම රිද්මයකිනි. මේ තීර්ථ චාරිකාවකි.  චන්ද්‍රරත්න බණ්ඩාර එක නිමේෂයකදී  නිරූව අතුරුදහන් කරන්නේ ඊට වුවමනා පසුබිම සකස් කරනු සඳහා ය. සයුරු, නිරූව සොයා දීර්ඝ චාරිකාවකට අවතීර්ණ වෙයි. ඉමක් කොනක් නො පෙනෙන මෙම චාරිකාව අතරතුර චන්ද්‍රරත්න බණ්ඩාර විසින් කැඳවනු ලබන …….. නවකතාවේ දැක්ම කුළුගන්වාලීමට සපයන සවිය පාඨකයා සසල කරයි.

චන්ද්‍රරත්න  බණ්ඩාර ‘ප්‍රේමානිශංස’ නිමා කරන්නේ පාඨකයා විෂයෙහි සන්තෘෂ්ටියක්  හෝ වේදනාවක් දැනවීම අරමුණු කොට නො ගෙන ය. ඒ ඔහු   සයුරු, නිරූ හා සෙසු චරිත අනාගතයට ද අයත් වන වග අවධාරණය කිරීම නිසාවෙනි . කිසිවක් නිශ්චිත මොහොතක  දී හෝ නිශ්චිත ස්ථානයක දී කෙළවර නො වන බව ද ඔහුගේ දැක්ම වෙතින් මූර්තිමත් වේ. මෙහෙයින්  ‘ප්‍රේමානිශංස’ කියවා හමාර කළ  හැකි නවකතාවක් නො  වන අන්දම පෙනේ.

තුසිත ජයසුන්ද
0777 957396