ප්‍රවීන සාහිත්‍යකරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාරගේ පස්වැනි නවකතාව ‘වලාකුළු බැම්ම’ යි. ඔහුගේ පූර්ව නවකතා වූ මෙරු, වනසපුමල , හැන්දෑදූරය හා විමන් දොරකඩ පාඨක විචාරක අවධානයට පාත්‍රවූවා පමණක් නොව ඇතැම් කෘතියක් රූප මාධ්‍යයට ද නැගුණි. කෙටිකතා, කාව්‍ය හා ගීත යන සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අදාළ බොහෝ මංතලාවල සැරිසරන චන්ද්‍රරත්න බණ්ඩාර සාහිත්‍යයේ මෙන්ම දේශපාලනයේ ද වෙනස් ප්‍රවාද ගොඩනංවන්නෙකි.
නිදහස් පුවත්පත් කලාවේදියෙකු මෙන්ම පුවත්පත් කලාවේ සුවිශේෂ භාවිතයක් වන කොලම රචනෙහිද දීර්ඝ ඉතිහාසයක් ඇති ඔහු මේ මොහොතේ කැනඩාවේ පළවන යාත‍්‍රා පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා වන්නේ ය. මේ ඔහු ගගන වෙනුවෙන් වලාකුළු බැම්ම අබියස සංවාදගතවීමක සටහනයි.
මගෙ පළමුවන ප‍්‍රශ්නය මෙයයි. ඔබ කවුද?
මම ජීවිතය දෙසට හැරුණු සංස්කෘතික හා දේශපාලන සත්වයෙක්.
මොකක්ද ඔබේ පාට?
ඉස්සර නම් රතු. දැන් නම් කටුස්සෙක් වගේ මොකක්ද මට හිමි පාට කියලා අත්හදා බලමින් ඉන්නෙ.
ඒ කියන්නෙ?
මම බහතෝරන වියේදීම දේශපාලනය කරන්න තෝරා ගත්තෙ ලංකා සමසමාජ පක්ෂය. ඇත්තටම මං ඉගෙන ගත්ත ලංකාවේ හා පිටරට. මේ සියලු අධ්‍යාපන ආයතනවලට වඩා දැනුමක් ලබාගත්තේ ඒ පක්ෂයෙන්. විශේෂයෙන් එහි සිටි දැවැන්තයන් ඇසුරු කිරීමෙන්. එදා නොදැනුණාට අද වන විට හොඳට තේරෙන දෙයක් තමයි ලංකාවෙ තිබුණු හොඳම ලිබරල් දේශපාලන පක්ෂය සමසමාජ පක්ෂය කියලා. අද ආපසු හැරිලා බලන කොට තේරෙනවා ඒ අය වැඩිපුර ප‍්‍රමෝට් කළෙත් ලිබරල් වටිනාකම් කියලා. අපි කොල්ලො විදිහට ඇන්.ඇම්ගෙ රූපයේ තිබුණු ලස්සන, ඔහු පළමු චිත‍්‍රපට නළුවා වීම. ඉංගී‍්‍රසි කතා කරන චතුර විලාසය, ඔහුගේ පේ‍්‍රම සබඳතා, කොල්වින්ගේ අසමාන පෞරුෂය. තර්ක බුද්ධිය, විවියන්ගේ නිර්භීතකම්, බර්නාඞ් ජෝර්ජ් කීට්ගේ චිත‍්‍ර එකතු කරන එක. ලෙස්ලි දේශපාලනය වෙනුවෙන් පාරම්පරික ධනය නාස්ති කර ගත්ත හැටි අපිට වැදගත් වුණා.
ඒ උදවිය එක්ක බලනකොට අද පාර්ලිමේන්තුවේ ඉන්නෙ හඞ්ඩො ටිකක්.
කොහොමද ඔබ විශ්වාස කරන කොමියුනිස්ට් ධර්මෙ ගැන චංචල වෙන්නෙ?
ඒක චංචලවීමක් නෙවේ. අපේ තරුණ වයසෙදි සෝවියට් දේශය කඩා වැටෙන්නෙ. ඒ කඩාවැටීම ධනේශ්වර කුමන්ත‍්‍රණයක් විදිහට ඒ කාලෙ අපි දැක්කෙ. එහෙත් කොමියුනිස්ට් ක‍්‍රමයේ යම් ආදර්ශයන්ද රැගෙන යුරෝපයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වර්ධනය වෙමින් තිබුණා, බලවත් සුබ සාධන යාන්ත‍්‍රණයකුත් එක්ක. අද කැනඩාව වගේ අපි ජීවත්වන රටවල උතුම් වටිනාකම්වල හරි අඩක් අයිති කොමියුනිස්ට් ක‍්‍රමයට. එදා අපි ඉගෙන ගත්තෙ දෑතේ යදම් හැර අන් කිසිවක් නැති කම්කරුවෙක් ගැන. ඒක අද ඇත්තක් නොවේ. කම්කරුවාට තියෙන අවමන් සහගත සැලකිලි බොහෝ දුරට වෙනස් වෙලා. විශ්ව විද්‍යාලයක උගන්වන මහාචාර්යවරයා තමන්ගෙ වාහනේ වියදම් වෙනුවෙන් සති අන්තයේ වෝල්මාට් එකේ කම්කරුවෙක් විදිහට වැඩ කරනවා. හැත්තෑ අසූ ගණන්වල මේ උභතෝකෝටිකය අපි දැක්කෙ නැහැ.
සෝවියට් දේශය කඩා වැටීම සමසමාජ කාරයන්ට ප‍්‍රශ්නයක් නෙවෙයිනෙ? මොකද ඒ අය ට්‍රොට්ස්කිවාදියොනෙ?
නෑ. ඒ කාලෙ සමසමාජවාදීනුත් සෝවියට් දේශය කඩා වැටිච්ච විදිහට කැමැත්තක් දැක්කුවේ නෑ. මොකද එය කඩා වැටුණේ ධනේෂ්වර ක‍්‍රමයට වාසි වෙන විදිහටනේ. මිනිසාගේ සිතීමේ, කතා කිරීමේ, ප‍්‍රකාශනයේ නිදහස, කොමියුනිස්ට් ක‍්‍රමයේ පොරොන්දු දේශයේ තිබුණත් එහෙම දෙයක් අපි දැක්කෙ නෑ. හැබැයි ඒවා මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය කාරණා. ඒත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටාවකින් මිනිසාට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදිහට ඒවා ලැබෙනවා. ලංකාවෙ වුණත් පසුගිය දවස්වල බුද්ධිමතුන්ගේ හා නිදහස්කාමීන්ගේ එළිපිටට පෙනුණු හා නොපෙනුණු මහින්ද රාජපක්ෂට එරෙහිව නිහඬ කැරැල්ල ගොනු වුණෙත් ඒ වටානෙ. ලෝකය පුරා තත්ත්වයත් ඒකමයි.
ඔබ රචනා කළ ‘වලාකුළු බැම්ම’ නවකතාව ඇතුළු ඔබේ බොහෝ නිර්මාණවල ගොදුරු බිම වෙන්නෙ උඩරට ගැමි ගොවි පරිසරය. ඔබ එතරම් ඒ පරිසරලෝලී වෙන්නෙ ඇයි?
අපි ජීවත්වුණු හැදුනු වැඩුණු බිම් පෙදෙස ඒකනේ. ගෙවී ගිය ජීවිතයෙ සොම්නස්දායක දේවල්, ගැටුම්, හා අනාගතය තීරණය කරන තීරණාත්මක දේවල් ඔක්කොම සිද්ධවුණේ ඔය පරිසරයෙනේ. ඒ භූගෝලීය කලාපයේ හැම අංශු මාත‍්‍රයක්ම මගේ සංජානන පද්ධතියේ කොටසක්නෙ. කියන්න ඕනෑ දේ කියන්න ඒ පරිසරය යොදා ගත්තාම ලේසියි. අපි කොළඹ ඉන්නකොටත් කොළඹ පැල පදියම් වෙච්ච ජීවිතයක් නෙමෙයිනෙ තිබ්බේ. සිකුරාදාට ගමට ගිහින් එහි ජීව හුස්මක් අරගෙන සඳුදට ආපසු කොළඹ ඇවිත් දවස් පහක් වැඩ කරලා ආපහු ගමේ යනවා. ඒ ජීවිතේ ටිකක් හරි වෙනස් වුණේ 88-89 භීෂණ කාලෙ. ඇත්තටම ගමෙන් පිටවෙලා ඉන්නෙ දැන්. හිතුවත් භෞතිකව ගමට යන්න ලේසි නැහැ. ඒ භෞතිකව යන්න බැරිකම නිසාම තවත් බලවත්ව මනසින් ගමට යනවා. දැන් තමයි සිංහාවලෝකනය කරන්න පුළුවන්. වැරදිච්ච තැන්, හරිගිය තැන්, මේ දැන් ජීවත්වෙන පරිසරය මිනිහෙක් වෙනස් කරනවනේ. කවි සිංදුවල තිබ්බට කොළඹ පරිසරය නුවර මිනිහෙක් වෙනස් කරන්නෙ නෑනේ.
කොළඹ ජීවිතය ඇතුළෙයි කැනඩාවෙ ජීවිතය ඇතුළෙයි ඔබ පිටස්තරයෙක්ද?
ඕක මේ විදිහට ගත්තොත් හරි. කොළඹ කියන්නෙ එක්තරා සංක‍්‍රමණීය අවස්ථාවක්. කැනඩාවේ එහෙම නොවේ. සමස්ථ කතන්දරයම හුඟක් වෙනස්. ඇගයුම් වෙනස්. පළමුවෙන්ම මම පි‍්‍රන්ස් එඩ්වඩ් අයිලන්ඩ්ස් වලට ගොඩ බහිනකොට නව උපතක් ලැබුණා වගේ දැනුණෙ. මිනිස්සු ජිවිතය විඳින හැටි, විවෘත භාවය ඒ ඔක්කොම අමුතුයිනෙ. අපේ මේ ඉතිරි පුංචි කාලේ බටහිර හඳුනා ගැනීම කරන්න බෑනේ. කැනඩාවේ ජීවත් වෙනවා රටවල් 178 ක මිනිස්සු. අඩුම ගානෙ රටවල් 20ක 30ක වත් සංස්කෘතික හැදියාව තේරුම් ගත්තොත් තමා අද බටහිර හඳුනා ගන්නවා කියන්නෙ. අපි ආවේ අපේ රටේ ප‍්‍රධාන ජාතින් තුනේවත් සංස්කෘතික මිශ‍්‍රණයක් ඉවසන්නෙ නැති සමාජයක ඉඳලා. ඒත් මෙහෙදි අපි දකින්නෙ සංස්කෘතික මිශ‍්‍රණයේ විචිත‍්‍රත්වය.
නුවර දළදා මාළිගාවට අයත් සාසනික බලව්‍යුහයයි රදළ සමාජයට අයත් සමාජ ව්‍යුහයයි ඊට යටින් දිවෙන කුල ධුරාවලියයි ඔබට දැන් පේන්නෙ කොහොමද? මේ ස්ථර තුන ඔබ නවකතාවේ ස්පර්ශ කරනවා.
ඇත්තටම මට තියෙන්නෙ උපේක්ෂාවක්. සැබැවින්ම මේ ආයතන තුන අතර තිබුණු අන්තර් සම්බන්ධය දැන් බරපතළ අර්බුදයකට ගිහින් තියෙන්නේ. විකෘති ලෙස හෝ සිදුවූ නාගරිකරණය විසින් අද වන විට කුල පීඩිතයන් යම් ආකාරයකට ඒ විය ගහෙන් ගලවා දමා තිබෙනවා. ශිල්පයට බැඳ තැබූ කුල හීන ශිල්ප පරම්පරාවන් ඉන් නිදහස් වී තිබෙනවා. චිත‍්‍රසේන වැනි ඉහළ මැද පංතිකයන් කළ මැදිහත්වීම් තුළින් බෙර වාදනය ආදී නැටුම් කලාවන්ට කුලවතුන්ද මැදිහත් වෙනවා. රෝයල්, ටි‍්‍රනිටි, ධර්මරාජ, ආනන්ද ආදි උසස් පාසල්වල ළමයි වාර්ෂිකව වෙස් බඳිනවා. පෙරහැරේ නටනවා. මේ විපර්යාසය තේරුම් ගන්න බලන්න. දැන් ඒ වෙනස්කම් නිසා නැටුම හොඳට දියුණු වෙනවා.
ඔබ විශ්වාස කරන්නේ උඩරට සාසනය. සමාජය, කුලය විපර්යාසයකට භාජනය වෙලා කියලද?
පැහැදිලිවම. මීට අවුරුදු 50කට 60කට ඉස්සර මල්වතු අස්ගිරි නායකත්වය දේශපාලන නායකත්වයට ඉහළින් තිබ්බේ. ඒත් අද ඒ නායකත්වය දේශපාලනයේම අතකොළු වෙලා. අද නුවර නායක හාමුදුරුවරු විරුද්ධ වුණත් රාජපක්ෂ දරුවො කාර් රේස් පදිනවා. රදළ සමාජයට කළ හැකි බලපෑමක් නෑ. ඔවුන්ටත් සිය බලපරාක‍්‍රමය රැක ගන්න නම් අනෙක් ධනපතීන්ට වගෙ පාතාලයේ හා දේශපාලනයේ සහාය ගන්න අවශ්‍යයි. කුලය තවදුරටත් කෙනෙකුට ඉදිරියට යාමට ඒ හැටිම බාධාවක් නෙවේ. ඒ කාලෙ කුලවතා කුලහීනයාගේ සම්පූර්ණ ජීවිතයම තීන්දු කළා. ඒත් අද ඔවුන් ලබා ඇති ආර්ථික ස්වාධීනත්වය හරහා ඒ තත්ත්වය වෙනස් වෙලා. අද නුවර ගත්තහම ඒක වැඩවසම් සමාජයක් විදිහට ගන්න බෑ. අද නුවර තීරණය කරන්නෙ ව්‍යාපාරික අතින් දියුණු වූ පිරිසක්. රදළයන් නොවේ. අද නුවර දළදා මාළිගාව ආගමික ප‍්‍රමුඛස්ථානය වෙනකොට නුවර සිටි සෙන්ටර් එක නව සමාජයීය භාවිතයේ සංකේතය වෙනවා.
වලාකුළු බැම්ම නිමිතිවෙන කාලපරාසය 1977 පමණ ආරම්භවෙලා 1990 පමණ දක්වා දිවෙන බව පේනවා. ඒ අතරතුර ලාංකික සමාජයේ පෙරළි ගණනාවක් සිදුවෙනවා. මේ පෙරලිවලට වලාකුළු බැම්මේ ගම හසුවන බවක් පේන්නේ නෑ. ඇයි ඒ.
ඇත්තටම ඔය කියන ගම ඒවාට අහු වුණේ නෑ. මං කතා කරන්නෙ ලංකාවෙ තිබුණු සුරක්ෂිත ගම්වලින් එකක් ගැනනේ. ගොවිගම කුලයේ බහුතරයක් සිටි ගණන් ගත නොහැකි කුල ධූරාවලියෙන් අඩු අය හිටපු ඒ ගමට සමාජයීය කැළඹීම් ආවේ අඩුවෙන්නේ. සුලු ජාතින් ඉතා අඩුයි. ඒත් නුවරම තියෙන කුණ්ඩසාලෙ මහවත්ත එහෙම නොවේ. ඒකනෙ ඒ ගම සමූල ඝාතනය වෙන්නෙ.
පියසිරිගෙ පියා පියසෝම රාජ්‍ය සේවකයෙක්. එහෙත් ඔහු 80 වැඩවර්ජනයට අහු වෙන්න නෑ. ඒ දේවල් මග ඇරෙන්නෙ කොහොමද?
ප‍්‍රධානම එක නවකතාව යනු සිදුවීම් අනු පිළිවෙලක් ඇති වාර්තාවක් නොවේ. පියසෝම අර්ධ ගොවි අර්ධ රාජ්‍ය සේවක ජීවිතයක් ගත කරන්නෙක්. ඔහුට ගමේ ජීවිතයත් වෘත්තිය ජීවිතයත් රැක ගන්න ඕනෑ. තම වාමාංශික බව ගමට වසංගන ඔහු තම ග‍්‍රාමීය ප‍්‍රභූ බව සේවාස්ථානයට වහං කරනවා. ඕක අපේ ගම්වල එදා තිබුණු යථාර්ථයක්. හැබැයි ඒ අන්තර් මිශ‍්‍රණය ඔහු දිරිමත් වැදගත් වෙනස් මිනිහෙක් කරනවා.
ඔබේ වලාකුළු බැම්මේ පුරුෂ සමලිංගිකත්වය ගැන යම් තරමකට කතා කරනවානේ. ඔබ අද කැනඩාවේදි ඒ විෂය ඊට පුළුල් ලෙස දකිනවා. ඔබ එය අද දකින්නේ කොහොමද?
තමන්ගේ ජීවිතය තමන්ට තීරණය කරන්න ඉඩ දිය යුතුයි යන ලිබරල් මූලධර්මයට අයත් කාරණයක්නෙ මේ. ලිංගික කැමැත්ත අතිශය පෞද්ගලිකයි. එහෙත් එහි තෝරා ගැනීමේ අයිතිය තියෙන්නෙ පුද්ගලයාටනෙ. පුද්ගල නිදහස අසීමිතව අගයන කැනඩාව වැනි සමාජවල පුද්ගලයා විෂම ලිංගිකද, සමලිංගිකද කියන කාරණය රාජ්‍යයටවත් සමාජයටවත් අදාළ නෑ. ලිබරල්වාදියාත් දියුණු මාක්ස්වාදියාත් (දොස්තර නලින්ද ජයතිස්සට වැඩි කෙනෙක්) මේ අයිතිවාසිකම පිළිගත්තෙ ජීවිතයට ඉඩ දෙන්න කියන අර්ථයෙන්.
පියසිරිට සමාජයේ ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙන්නෙ නුවර උසස් විද්‍යාලයක් වන කි‍්‍රස්තුරාජයට ඇතුළු වුණු හින්දා. ඔබ ඉගෙන ගත්තෙ ඊට නොදෙවෙනි සමාජ පසුබිමක් සහිත ධර්මරාජ විද්‍යාලයේ. කි‍්‍රස්තුරාජය, ඔබේ ආදි පාසල, ගමේ පාසල, පන්සල් අධ්‍යාපනය හා ඔබ ඉන්න කැනඩාවෙ අධ්‍යාපනය මේවා ඔබ අත්දැක්කා. මේ සියල්ල සමග ඔබ ලංකාවෙ අධ්‍යාපනයේ විෂම භාවය අත් දකින්නෙ කොහොමද?
ලංකාවේ ගෝති‍්‍රක අධ්‍යාපනයක් තියෙන්නෙ. ටි‍්‍රනිටි ගෝත‍්‍රය, රෝයල් ගෝත‍්‍රය, ආනන්ද ධර්මරාජ ගෝත‍්‍රය, ආදි වශයෙන්. එහෙයින් අවම වශයෙන් ඒ ඒ ගෝත‍්‍රවල පාරම්පරික වටිනාකම් නිසාවත් ඒවා රකින්නට ඒ පාසල් යම්තම් හරි වෙහෙසෙනවා ග ලංකාවේ සමස්ත ක‍්‍රමයම කුණු වී ඇති තත්ත්වයක් යටතේ විශේෂයෙන් දේශපාලන ක‍්‍රමය කුණු වී ඇති තත්ත්වයක් යටතේ එය නොහදා අධ්‍යාපන රටාව විතරක් හදන්න ගියොත් මේ තියෙන ටිකත් නැතිවෙලා යයි කියලා හිතනවා. කැනඩාව වගේ රටවල දේශපාලනය, රාජ්‍ය ක‍්‍රමය දියුණු පිරිසිදු එකක් නේ. ඒ පිරිසිදුකම අධ්‍යාපනයෙත් තියෙනවා. මෙහෙ ආදි ශිෂය සංගම් කියල ජාතියක් නෑ. ඉස්කෝල ඉස්කෝල කී‍්‍රඩා තරගවලට ගිහින් මරා ගන්න ගතියකුත් නෑ. ටික කාලෙකට පස්සෙ ළමයටත් තමන් ගිය ඉස්කෝලෙ මතක නෑ. මතක තබා ගත යුතුත් නෑ. මොකද ඔක්කොම එකයි. සැමට සමාන අධ්‍යාපනය හා සැලකීමනේ තියෙන්නෙ. ඔහුට මතක ඔහුගේ ආත්මයට සාධාරණීකරණය වූ දැනුම විතරයි. ඒකනෙ වෙන්න ඕනැත්. දැනුම අසමාන එහි පංති ස්වරූපයක් තිබ්බ කාලෙ එංගලන්තෙ එහෙම ස්කොලවාදයක් අපෙ වගෙ තිබිලා තියෙනවා. ඒත් ඒක එංගලන්තෙවත් අද නෑ.
ඔබේ වලාකුළු බැම්ම නවකතාව ඇතුලෙ කියවෙන චරිත යම් නියෝජනාත්මක බවක් තිබෙන බවක් පේනවා. ඔබ එසේ ගෙනෙන චරිත මොනවාද?
අද ලාංකික භික්ෂුව අතර වටිනාකම් බහුල භික්ෂූන් හරි අඩුයිනෙ. අපේ ආනන්ද මෛති‍්‍රය හාමුදුරුවො 100 ලෙස අරගෙන ජාතිවාදයට පක්ෂව පාරේ බුදියන භික්ෂුව 0 ලෙස ගතහොත් අද වැඩි 0ට කිට්ටු භික්ෂුන්නේ. ඒ කණ්ඩායමේ නියෝජනය තමා ලොකු හාමුදුරුවෝ. ලංකාවේ අදටත් වැඩවසම් ක‍්‍රමය හා එහි ආනුසංගික චින්තාවන් නඩත්තු කරන්නෙ භික්ෂුවනේ. අර පොතේ ඉන්න සුරඹා ගමේ සෞන්දර්ය ජීවිතයේ උල්පතග එහෙත් ඔහුව පාගා දමන ප‍්‍රධාන ආයතනය පන්සල නේද? ඉඩමට ගැට ගැසූ ජීවන මාවතක් ඔහුට සකස්කර දෙන්නෙ පන්සල. ඒ අතින් සුන්දර ශිල්පයම සුරඹාව අවමානයට පත් කරනවා. වෙදාත්තා, උඩහ අත්තම්මා, සිල්මෑනියෝ ටිකක් විතර සැබෑ චරිතයන්. වනසුන්දරගෙ චරිතය සකස් කර ගන්න ලංකා ජාතික සංගමයෙ නායකයන්ගේ චරිත බලපෑවා කියන්න පුලුවන්. සෙල්වි තමා මා නිර්මාණය කළ අපූරුම චරිතය. සෙල්වි තමා මගේ පේ‍්‍රමයේ ප‍්‍රකාශනය. එය තනා ගැනීමට පත්තිනි දේවියගේ සිට රෝසා ලක්සම්බර්ග්ල රෝසා පාර්ක්ල තමලිනීල විවියන් ගුණවර්ධනල පියසීලී විජේගුණසිංහ ආදී මා ඇලුම් කරන බොහෝ උසස් හා චමත්කාරජනක හා මා ප‍්‍රබෝධමත් කළ ගැහැනුන්ගේ චරිත සොබාවන් ආදර්ශයට ගත්තා.
මනුෂ්‍ය චරිතයන්ගේ නිරන්තරව පවතින දෙබිඩි ස්වරූපයන් ඔබ වලාකුළු බැම්ම තුළට ගේනවා. පියසිරි ලොකු හාමුදුරුවො ජ්‍යෙෂ්ඨ වනසුන්දර සෙල්වි ආදි වශයෙන්. ඔබ හිතන්නෙ මේ දෙබිඩි බවෙන් මිදෙන්න කාටවත්ම බෑ කියලද?
මං චරිත ඇරගෙන ඒවාට ගති ගුණ ආරෝපනය කළේ නෑ. මට ඒවා සංඥානනය වෙලා තියෙන්නෙ එහෙම තමා. මේ දෙබිඩි බව සැබෑවක් නෙවෙයිද? අපි විවිධ චරිත දහස් ගණන් ඇසුරු කරල තියෙනවා. ඒ චරිත එක්ක පෑහෙන තැන් තියෙනවා. නොපෑහෙන තැන් තියෙනවා. ඒ චරිත ස්වභාවයෙ පරස්පරයන් නේද? අවසානයේ පොදු මිනිස් භාවය නේද?
ඔබේ මීළඟ සාහිත්‍ය කෘති මොනවාද?
මගේ ‘පිංකම්පොල’ නැමති කවි පොත ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ‘තවමත් නො ආ උන්’ කියන කෙටි කතා පොත සකස් කරමින් ඉන්නවා. මගේ සත්‍ය ස්මරණ හරහා සංස්කෘතික උරුමය මට දැනුනු හැටි ගැන සමාජමය හා සංස්කෘතික විවරණයක් අනෙක. පරිසරයට මුහුණදීමේදී එකම කාලයක එකම රිද්මයකට ගලා යන්නේ කියලා මට අත්දැකීමෙන්ම දැනිල තියෙනවා. මේ ගැන හොයන්න වැඩිපුර කාලයක් ගත කරනවා.
සංවාදය : රවි චන්ද්‍රලාල්