නඩරාජාට මෙන් තිස්සට ද වැරදුනි

(ලංකා ඊ නිවිස් 05.සැප්.2009 පෙ.ව.5.00)

සියල්ල අවසානයේ තිස්සනායගම් සිරගෙට යැවුණි. මඳ කලකට නොව වසර විස්සකටය. පුවත් පලකිරීමේ නිදහස වෙනුවෙන් 1871 දී සිරගෙට යැවුණු පැලිස් අප්පුහාමිගේ සිට මේ තාක්කල් පුවත්පත් කලාව වෙනුවෙන් ඉහළින්ම වන්දි ගෙවුයේ තිස්සනායගම් යැයි ඉතිහාසය යළි යළිත්, කාලාන්තරයක් යනතුරු අපට මතක් කර දෙනු ඇත. ලසන්ත වික‍්‍රමතුංග වැනි කිහිප දෙනෙක් සිය ජීවිතයෙන් වන්දි ගෙව්වා සැබෑ වුවත් ඊටත් වඩා තිස්සනායගම් ගෙවන වන්දියේ හරයාත්මක වටිනාකම ඉහළ යයි මම සිතමි. ලසන්තගේ මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය පුවත්පත් කලාවේ සීමාවන් අබිිභවා ඔහු සේවයකළ පක්‍ෂයේ අභිලාෂයන් හා සම්බන්ධ කළේය. එහෙත් තිස්සනායගම්ගේ පුවත්පත් රචනාවන් බද්ධ වූයේ එවන් පටු අරමුණු සඳහා නොව තම හෘද සාක්‍ෂියටය.

අධිකරණයට ගරු කරන්නට අපට බල කර තිබේ. එය සැම රටක්ම සිය රටවැසියන්ට ලබාදෙන මූලික නෛතික නියෝගයකි. හෘද සාක්‍ෂිය කි‍්‍රයාත්මක වන්නේ ඊට පරිබාහිරින් වුවද නියෝගය පිළිපැදිය යුතුය. බි‍්‍රතාන්‍යයේ හෝ කැනඩාවේ වේවා, චීනයේ හෝ කියුබාවේ වේවා සිම්බාබ්වේ හෝ රුවන්ඩාවේ වේවා ඒ ඒ රටවල දේශපාලන යාන්ත‍්‍රණය සිය රටවැසියන්ට ඒ නියෝගය ලබා දෙනු ලැබේ. එය පිළිපැදිය යුතුය. එහෙත් ඇත්ත නම් බි‍්‍රතාන්‍යයේ හෝ කැනඩාවේ අධිකරණය හා සිම්බාබ්වේ හෝ රුවන්ඩාවේ අධිකරණ කි‍්‍රයාකාරිත්වය තුළ යුක්තියේ හා සාධාරණත්වයේ ප‍්‍රමාණය අහසට පොළොව මෙන් දුරස්ථ බවයි.

ජාතික වාදය ඇතුලූ අනේක විධ විෂබීජ වලින් බොරවී ඇති අද ලාංකීය සමාජය තිස්සනායගම්ට දුන් දඬුවම අප ගෙවා දමන යුගයේ අධිකරණමය නිරූපනයයි. එහෙත් මීට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කි‍්‍රයාත්මක වූ හැටේ දශකයේ දී තිස්සනායගම් මේ ලිවීමම කළා නම් ඔහුට දඬුවමක් නොලැබෙන්නටද ඉඩ තිබිණි.

මට ඇති කාණගාටුව නම් තිස්සට මෙම දඬුවම ලැබෙන්නේ එක්තරා සමාජ අනුමැතියක් ද සහිතව වීම ගැනයි. තිස්ස රිමාන්ඞ් බාරයට පත්වූ දා සිට ඔහු හිරගෙට යැවූ අගෝස්තු 31 වනදා දක්වා මම ඒ ගැන උනන්දුවෙන් පසුවීමි. ඔහු ගැන කථා කරන්නට සිය ගණනක් වූ පත්තර අතර ඉදිරිපත් වූයේ කීයද? විකල්ප වෙබ් අඩවි රාවය වැනි පුවත් පත් පමණක් ඒ යුතුකම ඉෂ්ඨ කලේය. පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට ඔහු ගැන පෙනී සිටින්නට බරපතල යුතුකමක් තිබිණි. එහෙත් ඔවුන් අතින් කිසිවක් සිදු නොවුණි. ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාට තිබූ වුවමනාවවත් තිස්ස ගැන විපක්‍ෂයට නොතිබුණි.

කියවන නුවණ 96% ක් වෙතත් ජනතාව තීරණ ගන්නේ සිය ඉව හා තදාසන්න හේතු කාරණා ආශ‍්‍රයෙනි. පොදු ජනතාවට යුද්ධය හමාරවීමෙන් ලැබුණු සහනය අසීමිතව භුක්ති විඳින තත්වයක් යටතේ ඒ යුද ග‍්‍රහණය ලබාදුන් පාර්ෂවය තිස්සනායගම් ත‍්‍රස්ත වාදියෙකු යැයි කියන විට ජනතාවට ඒ මතය බොරු යයි කිව නොහැකිය. එහෙත් කාරණා ඇසුරෙන් තීන්දු ගන්නා මාධ්‍යවලට එසේ කි‍්‍රයා කළ හැකිද?

අගෝස්තු 31 වනදා දිවයින පුවත්පත තිස්ස නායගම් සිරගෙට යැවූ පුවත වාර්තා කළේ ”ත‍්‍රස්තවාදය වැළක් වීමේ නීතිය යටතේ අධි චෝදනා ලබා සිටි මාධ්‍යවේදියකු බව කියන ජේ. එස්. තිස්සනායගම් නැමති අයට……’ වශයෙනි. තම මාධ්‍ය සගයකුගේ ඉරණම තීන්දු කෙරෙන ඛේදවාචී මොහොතේ ඒ මිනිසා මාධ්‍යවේදියකු ලෙස පිළිගන්වන්නටවත් පුවත්පත් සුදානම් වුයේ නැත.

තිස්ස පිළිබඳ ඔහුගේ මිතුරන් හා ඇසුරු කළවුන් දන්නා දෙය තිස්සට දඬුවම් කළ උදවිය දන්නේ නැත. තිස්ස කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සිංහල දැන උගත් සමාජය ඇසුරු කළ තරුණ බුද්ධිමතෙකි. ඔහුට හොඳින් සිංහලත්, ඉංගිරිසිත් දෙමළත් හැසිරවිය හැකිව තිබිණ. 1987 – 94 කාලයේ ඔහු අප සමග එකට මාර්ග ආයතනයේ තරුණ පර්යේෂකයන් ලෙස සේවය කළෙමු. මා දන්නා තිස්ස නම් අපමණ දැනුම පිපාසයකින් පෙලූණු, පුළුල් ගවේෂණශීලී මනසක් සහිත සමාජ සංවේදී මිනිසෙකි. එල්.ටී.ටී.ඊ. ය හා ජනතා විමුක්ති පෙරමුණ ද ඇතුළු සන්නද්ධ ව්‍යාපාර කෙරේ ඔහුට තිබුණේ බලවත් විවේචනයකි.

තිස්ස දේශපාලන පරමාදර්ශය පැතූ පුද්ගලයකු වූ නිසා කිසිදු දේශපාලන පක්‍ෂයකට හෝ ව්‍යාපාරයකට ඔහු අවනත කරගත නොහැකි විය. තමන් සේවය කළ ආයතනයේ වැටුප් අරගලයකට නායකත්වය දුන් තිස්ස වාසුදේව නානායක්කාරගේ අනුග‍්‍රහයෙන් වෘත්තිය සමිතියක් නිර්මාණය කර ගැනීමට දායක විය. 1994 මා එම ආයතනයෙන් ඉවත්ව ගොස් රජයේ සේවයට එක්වීමි. පසුව තිස්ස එම ආයතනයෙන් දොට්ට වැටුණු බව මා ආරංචි විය.

තිස්සට පුවත්පත් කලාව හැර වෙනත් වෘත්තියක් තෝරා ගැනීමට හා ගෞරවාන්විතව රට හැර යාමට අවශ්‍ය උසස්ම සුදුසුකම් තිබුණි. එහෙත් තිස්ස තෝරාගත්තේ ඔහු ඉදිරියේ තිබුණු දුෂ්කරම මාවතය.ි සරුංගලය චිත‍්‍රපටයේ නඩරාජා මෙන් ඔහු තමාගේ වෘත්තිය හිතවතුන් සමඟ ජීවත්වීම මැනවයි සිතන්නට ඇත. එහෙත් නඩරාජාට මෙන් තිස්සට ද වැරදුනි.

සිංහලයන්ට සිංහලකමට ලෙන්ගතුවීමට ඇති අයිතිය තමාගේ දෙමළ කමටත් ලැබේයයි ඔහු සිතන්නට ඇත. ඔහු සමග එකම ආයතනයක වැඩ කරද්දී විවෘතව ,හෘදය සාක්‍ෂියට එකඟව වැඩ කිරීමට ඇති කැමැත්ත මැනවින් ප‍්‍රදර්ශනය විය. සරුංගලේ චිත‍්‍රපටයේ නඩරාජාට මෙන් තිස්සට ද තමා අවට ඇති භයංකාරත්වයේ තරම ගැන එදා ඔහුට වැටහීමක් තිබුනේ නැත. වසර 15 කින් පමණ මුණ නොගැසුණු මගේ මිතුරාට අදද ඒ වැටහීම ලැබී නැත යන්න ඔහුට අත්පත් වූ විපත්තියෙන් පෙනේ.

එදා ප‍්‍රංශයේ ඩිගෝල් ජනාධිපතිවරයා තමන් විසින් කරගෙන යන ඇල්ජීරියානු අරගල මර්ධන මෙහෙයුමට එරෙහිව කි‍්‍රයාකාරි වූ ජින් පෝල් සාත්‍රේ ගැන කිසිවක් නොකරන්නේ මන්දැයි කිසිවකු ඩිගෝල්ගෙන් ඇසීය. එය කෙසේ කළ හැකිද? සාත්‍රේ යනු ප‍්‍රංශය යයි ඩිගෝල් උත්තර දුනි.

තිස්සනායගම් යනු සාත්‍රේ නොවන බව සැබෑය. එහෙත් සාත්‍රේ භුක්ති වින්දේත්, තිස්ස භුක්ති විඳින්නට උත්සාහ කළේත් එකම මානව වර්ගයක අවිහිංසාවාදී ප‍්‍රමුඛ කි‍්‍රයාකාරිකයකුට තිබිය යුතුයයි විශ්වාස කළ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසයි. එදා ඩිගෝල්ගේ කි‍්‍රයාකලාපය නිසා ඩිගෝල් සහ ජින් පෝල් සාත්‍රේ දෙදෙනාම සම්භාවනාවට පත්විය. එහෙත් අපේ රටේ තිස්ස සිර ගෙයට නියම විය.

 

තමන් ලියූ සටහනක් නිසා පාර්ලිමේන්තුවට ගෙන්වා නඩු අසා දඬුවමට ලක්වූ එවක ඔබ්සවර් කතෘ හැරල්ඞ් පීරිස්ගේ කතාව තිස්සනායගම්ගේ සිද්ධියට වඩා බෙහෙවින් සුළුය. එහෙත් දශක ගණනාවක් පුරා එය පුරාවෘත්තයක් මෙන් මාධ්‍යවේදීන් හා විද්වතුන් අතරේ රැුව් දුන්නේ ඒ දඬුවම් පැනවූ පාලකයන්ට විරුද්ධව පිළිකුල් සහගත මතයක් ගොඩ නංවමිනි.

තිස්සනායගම් උදෙසා ඒ මතය ඊට වඩා ප‍්‍රබල විය හැකිය. දැනටමත් ඔහුට ”රිපෝටර්ස් විතවුට් බෝඩර්ස්” ආයතනය වසරේ මාධ්‍ය වේදියා යන ප‍්‍රදානය හිමිකර දී තිබේ.

ශී‍්‍ර ලංකාව අද සිටින්නේ පාලකයනට අවශ්‍ය නම් පොදු යහපත තකා සියල්ල එදෙසට දිසානනි කර ගත හැකි අවධියකය. නිදහසින් පසු මෙවන් ස්වර්ණමය අවස්ථාවක් පාලකයකුට නොලැබුණු තරම්ය. එහෙත් මාධ්‍ය මර්ධනය වැනි අකටයුතුකම් හා මූලධර්මීය මාවතකට රාජ්‍ය ගමන් කරවීමට දක්වන කැමැත්ත විසින් සමාජය දිගු කාලීනව අවුල් ජාලාවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

 

 

චන්ද්‍රරත්න බණ්ඩාර -කැනඩාව-