ගම්පෙරළිය අස්සේම ‘ජිනදාස ඇවිත් ගිහින්’

පව් පින් ගැන අබ මලක විශ්වාසයක් නැති අප වැනි සෞන්දර්යමය යථාර්ථවාදටත් නැමුණු අප වැන්නන්ට පවා කාව්‍යමය පිනක් පළ දෙන කවි පොතක් අපේ පාසැලේ කුඩා පුස්තකාලයේ තිබිලා මට අද කියවන්නට ලැබුණා. මේ පොත, චන්ද්‍රරත්න බණ්ඩාරගෙ ‘පිංකම්පොළ’.

මේ පොතේ මම ප්‍රියතම කාව්‍යමය විලාසිතාවක් වන ක්ෂුද්‍ර ආඛ්‍යානමය කවිතා ලතාවක් පෙන්වන කවි කිහිපයක්ම අඩංගු වෙනවා. ‘අමරාවතී’, ‘තාන්තුවාවෙන් බරව’, ‘සම සෙනෙහෙ’, ‘කළුවර වටපිටාවක’ වගෙ කවි මා ප්‍රිය කරන එවැනි තාලේ කවි. මේ පොතේ ඇතැම් කවි නම් ඉතාම සුලබ කවිත්වයක් පෙන්වන කාව්‍යමය විස්මයක් ඇති නොකරන පන්නයේ ඒවා තමයි. ඒ උනත් මට ‘දැනුණ’ කවි වූ ඉහත නම් කළ ඒවා අජිත් තිලකසේන, දමිත් දහනායක, ඩොමිනික් චන්ද්‍රසාලි වගේ කවීන් ඉතාම සියුම් ලෙස මනුෂ්‍ය අත්දැකීමක් භාෂා රූපයට ගෙනෙන්නට තැත් දරන ආකාරයට සමීප කවිකම්. මිනිස් සහසම්බන්ධතාවක සියුම් ඉසව් භාෂාත්මකව චිත්‍රණය කරන්නට ඔහු ශූරයෙක් බව මම කිව්ව අර කවි කිහිපය කියෙව්ව නම් ඔබටත් පැහැදිලි වේවි. නමුත් චන්ද්‍රරත්න බණ්ඩාර තමන්ගෙ කවිවලදි සාදන කාව්‍යමය අත්දැකීම කිසියම් ධාරණාමය ඒකාග්‍රතාවක් ඇති වන පරිදි සංරචනය කළා නම් මීට වඩා ඔහුගෙ කවිය අපට දැනෙන්නට තිබුණා. කවිය ඉතා සියුම් සහ කාව්‍යමය විස්මයක් ඇති කරවමින් ආරම්භ වෙලා ඉතාම සුලබ – සාමාන්‍ය විදියකින් කෙළවර වෙන කවි බොහොමයක් මේ පොතේ හමු වෙනවා. කෙනෙකුට ඒ නිසා මෙහෙම හිතෙන්නත් පුළුවන්; මේ කවි පොතේ එන කවිවල මරු කෑලි නම් තියෙනවා. ඒ උනත් බං…. අනේ මංදා…! ඒ වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්. කෙසේවෙතත් මේ සටහන ලියවෙන්නෙ චන්ද්‍රරත්න බණ්ඩාරට කවිය උගන්නන්නවත් ඔහුගෙ කවි පොත ගැන තක්සේරුවක් දෙන්නවත් නෙමෙයි. මේ පොතේ ‘ජිනදාස ඇවිත් ගිහින්’ කියල කවියක් තියෙනවා. මේ කවිය ගැන මට හිතෙන දේ කියන්නට කලින් අපි කවිය කියවා ඉමු.

ජිනදාස ඇවිත් ගිහින්

දියුණු වෙන්න

සිංහලේ ගිය ජිනදාස

ආපහු එන්න, හරි හමන් මිනිහෙක් වෙන්න

තැඃ ගැහුණු ජිනදාස

නන්දාගේ ලස්සන මුහුණ

පැල්පතේ කවුළුවෙන් පේන

හඳට උපමා කර කර

කවි වගේ දේවල් හිතෙන් ගොනු කළ ජිනදාස

අද හරියයි හෙට හරියයි හිත හිතා

මහ පොළොව එක්ක හැප්පුනා ඔහු

ලියුමක් නොලිව්වෙත්.. පණිවිඩයක් නොයැව්වෙත්

ලජ්ජාවට….

බංකොලොත්වීම දැනගත්

නන්දාත් වෙනස්වෙයි කියල හිතලමයි.

අකුරු බැරිකමටවත්…

ආදරේ නැතිකමටවත් නෙවෙයි.

පියල්ටත් බහ දී හිටි එකේ

කසාද මිනිහා වුනත්

අලකලංචි අස්සේ

ආදරේ පරණ තැනටම

පංගාර්තු කරන එක ලේසියි

මං වගේම ඈත් පෘතග්ජන මිනිසුන් විදිහට

මේ කවිය අපි සංවාදයට ගතයුතු වැදගත් තේමාත්මකයක් ලුහු බඳිනවා. මේ කවිය කියවද්දි මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගම්පෙරළිය’ නම් නවකතාව අවශ්‍යයෙන්ම අන්තර්පඨිතයක් සේ ක්‍රියා කරනවා. ඉතිං අපි මේ කවිය කියවන්නට ඕන ගම්පෙරළිය නවකතාවත් පසෙකින් තියාගෙන. වික්‍රමසිංහගේ සාහිත්යික පතාක පෞරුෂයත් අපේ කියවීම හසුරුවන්නට ක්‍රියා කරන එක ගැනත් අපි සවිඥානිකවයි කියවන්නට ඕන.

වික්‍රමසිංහ මේ නවකතාවෙදි ‘ලංකාවේ වැඩවසම් ක්‍රමය බිඳ වැටෙමින් ධනවාදය කෙමෙන් නැග එන අන්දම’ නන්දා – පියල් කේන්ද්‍ර කරගෙන මනාව ආඛ්‍යානගත කරන හැටි අපි නොයෙක් විදිහට කතිකාවට අරගෙන තියෙනවා. ගම්පෙරළිය කියන්නෙ අපේ ලංකාවේ සමාජ-දේශපාලනික ඓතිහාසික යථාර්ථයේ ගමන් මගෙහි එක්තරා කාල වකවානුවක් පිළිබඳ සත්‍යාභාසී මෙන්ම කදිම කලාත්මක චිත්‍රණයක් බව අපි පිළිගන්නවා. නන්දාගේ විවාහක පුරුෂයා වූ ජිනදාස නන්දාගේත් සිය පවුලේත් අඟහිඟකම් සමනය කරගන්නට ‘සිංහලේ’ යනවා. ජිනදාසගේ ආරංචි මාත්‍රයක්වත් නැතිව යාම නන්දා-පියල් සහසම්බන්ධයට -විවාහයට පාර කැපෙනවා. ධනවාදයේ නැග ඒමට පියල් නම් දුර දකින තරුණ ව්‍යාපාරිකයාගේ උන්නතිකාමය මෙන්ම නන්දාගේ සංස්කෘතික ප්‍රාග්ධනයත් අවශ්‍යයෙන්ම බලපාන බව ගම්පෙරළියේ සංඥාර්ථවේදයෙන් කියැවෙනවා. පියල් නන්දාව ලුහු බඳින්නේ රූපෙට වහ වැටී හෝ වෙන කෙල්ලක යාළු කරගන්නට බැරි නිසා හෝ නෙමෙයි. නන්දාට වඩා රූපයෙන්ද වත් පොහොසත්කමින්ද කුළුපග බවින්ද වැඩි ස්ත්‍රියක ලබා ගැන්මට පියල්ට බැරි වීම අහම්බයක් නෙමෙයි. කසාද ගෑනියක් උනත් කරේ එල්ලා ගන්නට තරම් ප්‍රති-සංස්කෘතික ක්‍රියාවකට පියල් තීරණය කරන්නේ දුර බලලම තමයි. හැබැයි පියල්ට නන්දා ලැබෙන්නේ ජිනදාසගේ වසංවීම නිසා. ඉතිං ඒ නිසා ‘ජිනදාසගේ ආරංචියක්වත් නැතිව යාම’ ධනවාදයේ නැග ඒම හෙවත් අපේ සමාජ ක්‍රමයේ විකාශනය සමග අත්‍යන්තයෙන්ම බද්ධයි. එහෙත් ‘ගම්පෙරළිය’ තුළ ජිනදාස වෙත ඒ තරම් අපව නාභිගත කෙරෙන්නෙ නෑ. ඔහුගෙ චරිත නිරූපණය අපේ සමාජ කතිකාවෙදි ඒ තරම් වැදගත් සේ සලකා බැලෙන්නෙත් නෑ. මෙහි අප ‘ගම්පෙරළිය’ කියන දෙය මහා ආඛ්‍යානයක්. ගම්පෙරළිය කියන්නෙ වික්‍රමසිංහගෙ නවකතාවෙ නම විතරක් නෙමෙයි. ඒ නවකතාව මගින්ද නිරූපණය වෙන අපේ සමාජ පෙරළියේ යථාර්ථවාදී මහා ආඛ්‍යානය.

චන්ද්‍රරත්න බණ්ඩාර කරන්නෙ ජිනදාස වෙත අපව නාභිගත කිරීම. බැරි වෙලාවත් ජිනදාස ගිය දා සිට නන්දාට ලියුම් එවමින් පුළුපුළුවන් වෙලාවට බලන්නට එමින් සිය දුෂ්කරතා සෝද සෝදා මඩේ දමමින් සිටියා නම් නන්දා – පියල් එක්වීම සිදු නොවනු ඇති. ඒ දෙන්නා එක් නොවූවා නම් ගම් පෙරළිය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට නොතිබිණිද? ඉතිං ඒ නිසා ගම් පෙරළිය යනු හුදු පියල්ලාගේ ශූරකම් නිසා පමණක් සිදු වූවක් නොවේ. ජිනදාසලාගේ සංස්කෘතික තර්කණයත් ඊට බෙහෙවින්ම අදාළයි. ඉතිං ඒ ගැන මේ කවියෙ එන තේමාත්මක ඇවිස්සීමට මම මාර කැමතියි.

මේ කවිය අවසානයෙදි කියවෙන්නෙ ‘පෘතග්ජන’ මිනිසුන් සේ සිතා නන්දා බලන්නට කවදා හෝ යනතෙක් ඔහුගේ දුෂ්කරතා නොකියා සියල්ල දරාගන්නට ඔහු තීරණය කළ බව. ‘පෘතග්ජන’ නම් සංකල්පය ජිනදාසට ආවෙ කොහොමද? ආගමෙන්. ආගම කියන්නෙ මේ සමාජ ක්‍රමය වෙනුවෙන්ම වැඩ කරන දෘෂ්ටිවාදමය උපකරණයක් කියල පශ්චාත් මාක්ස්වාදියො කියනවා අපි අහල තියෙනවා. ඉතිං මේ කවිය ඕනෙ නම් එවැනි කතිකා දක්වා දික්ගස්සවා ගන්නත් පුළුවන්. කෙසේවෙතත් අපේ සමාජ ක්‍රමය පිළිබඳ සාකච්ඡාවෙදි අපේ පරම්පරාව යළි යළිත් ගම්පෙරළිය සහ මාර්ටින් වික්‍රමසිංහව ඉතාම සූක්ෂ්මාත්මතාවෙන් යුතුව කියවන්නට අවශ්‍යයි. මටත් වඩා අවුරුදු ගානක් වැඩිමල් අපේ ඉස්කෝලෙම සමහර ගුරුවරුන්ට මේ කවිය අද මම පෙන්නනකොට මේ ‘ජිනදාස’ කවුදැයි අඳුනගන්නට බැරි වුණා. ඒ නිසා ඉතිං එයාලට කවිය වැදුණෙත් නෑ. ඇත්තටම ගම්පෙරළිය ජීවිතේට එක්වරක්වත් නොකියපු ගුරුවරු අපේ ඉස්කෝලෙ වගේම අනිත් ඉස්කෝලවලත් ඇති. ළමයි ගැන නම් කවර කතාද?

ඉතිං චන්ද්‍රරත්න බණ්ඩාර වැනි කවීන් ඉතා සියුම් ලෙස මතු කරන මෙවැනි තැන් ඒ අයට දනවන්නෙ කොහොමද? ඒකත් අපි ටිකක් සංකීර්ණව හිතන්න ඕනෙ ප්‍රශ්නයක්. මේ සමාජ ක්‍රමය ගැන අපේ සාමූහික විඥානය ඇති නොවෙන්න මේ සාහිත්යික ආඛ්‍යාන නොකියවීම බලපානවා නේද? ඉතිං සාහිත්‍යයේ දේශපාලනය ගැන මේ පඨිත මනා උදාහරණ. කොහොමවුණත් චන්ද්‍රරත්න බණ්ඩාර වැනි අය අපේ ‘ගම් පෙරළිය’ නම් මහා ආඛ්‍යානය තුළ වසං වී ගිය ක්ෂුද්‍ර ආඛ්‍යාන වැඩි වැඩියෙන් ඇවිලවිය යුතුයි. මේ කාව්‍යමය විලාසිතාවත් ඒ එක්ක යනවා.