අමරදේව මාහැඟි මහා ධන නිධානය

අමරදේව

-මාහැඟි මහා ධන නිධානය

ශී‍්‍ර ලංකාවේ අද ජීවත්වන මහා පුරුෂයන් අතර විශිෂ්ටතමයා ලෙස මගේ සම්භාවනාවට පත්වන්නේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ය. යුග කාරක පුරුෂයන් බොහෝ ගණනක් සිටි කාලයක අමරදේවද ඔවුන් අතර කෙනෙක්ව සිටි යුගයක් තිබිණ. කලාව ආශි‍්‍රතව නම් සරච්චන්ද්‍ර ,වික‍්‍රමසිංහ, චිත‍්‍රසේන, මංජු ශී‍්‍ර, ආනන්ද සමරකෝන් ආදි වශයෙන් දිගු නම් වැලකි. දේශපාලනයේ දී නම් ඇන්. ඇම්., එස්. ඒ. වික‍්‍රමසිංහ, ඞී. එස්., බණ්ඩාරනායක, පොන්නම්බලම් සොහොයුරන්, සිද්ධි ලෙබ්බේ ආදී වශයෙන් තවත් දිගු නම් වැලකි. අනෙකුත් සමාජිය ක්‍ෂෙත‍්‍රයන් හිද තත්ත්වය එයාකාර පිරිපුන් එකක් විය. ආගමික ක්‍ෂෙත‍්‍රයත් ගතහොත්, බඹරැුන්දේ සිරිසීවලී, කොටගම වාඩිස්සර, කිරිවත්තුඩුවේ ප‍්‍රඥාසාර, වැලිවිටියේ සෝරත, වල්පොල රාහුල, උඩකැන්දවල සරණංකර, වැනි භික්‍ෂූන්ද, මර්සිලින් ජයකොඩි, දොන් පීටර් මාහිමි, ආදි කිතුනු නායකයින්ද කැපී පෙනුනි.
එහෙත් සමාජයක් දිරාපත්ව ගොස් තිබෙන තරම අද අමරදේව හැර අන් යුගකාරක පුරුෂයෙක් පෙනෙන්නට දකින්නට ලංකා සමාජය තුළ ජීවතුන් අතර නොසිටී. අදත් තමන් නියුතු ක්‍ෂෙත‍්‍රයන්ට යම් යම් කාර්යයන් එකක් දෙකක් කළ විශිෂ්ඨයන් සිටියත් සමාජය නම් වූ වැල්ලට, සුළං පොදට කා වැදුනු සාකල්‍යයෙන්ම සුවිශිෂ්ට උතුමන් සිටීද?
අද පවතින ප‍්‍රධාන දේශපාලනික කලබගෑනිය වන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා ගනිමු. ඔවුන් දෙදෙනා තමන් හමුවේ පවතින අභියෝග දෙකක් සාර්ථකව ජයගත් නායකයන් දෙදෙනෙකි. එහෙත් ඒ දෙදෙනා කෙරේම එල්ලවන චෝදනාවන් වලින් කියවෙන්නේ ජයග‍්‍රහණයේ විශිෂ්ට භාවය හීන කරවන සුලූ කතාය.
අමරදේවයන්ගේ සිය 83 වන ජන්ම දිනයේදී සුවිශේෂී අමුත්තෙකු ඔහු බැහැදකින්නට පැමිණියේය. ඒ අන් කවරකුවත් නොව එවැනි ගමන් බිමන් වලින් තෘප්තියක් ලබන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. කාය ශක්තියෙන්, උස මහතින්, පැහැබර බවින් දිදුලන ජනාධිපති රාජපක්‍ෂ විසින් සිහින් සිරුරැුති, එමෙන්ම රෝග, පීඩා හා වයස්ගත බවින් ද දුබල වූ අමරදේවයන්ගේ දුටුවන් -අනේ අපොයි- කියන ශරීරය වැළඳ ගන්නා ඡුායාරූපයක් මාධ්‍යවලට නිකුත් කර තිබිණ. මේ දෙදෙනාගේ රූපකායන් සංසන්දනය කිරීමම ලංකාවේ සමාජ ජීවිතයේ හැඩරුව පිළිබඳ උපහාසයක් ජනිත නොකරයිද?
අමරදේවයන් 50 වසරකට වැඩි කාලයක් ශී‍්‍ර ලාංකික සිංහලයාගේ ආධ්‍යාත්මය පෝෂණය කිරීමට දායක වූ මහෝත්තමයෙකි. ඔහු පේ‍්‍රමය, භක්තිය හා සකලවිධ ස්නේහයන් සිත් සතන් තුළ ජනිත කිරීමට නිරායාස හා සාර්ථක උත්සාහයක යෙදිණි. ඔහුගේ ඒ මහා මෙහෙවර සිංහලයාගේ ජීවිතය පෝෂණය කෙළේය. ඒ අතින් ගත්කළ සැම ප‍්‍රබුද්ධ සිංහලයෙකුටම ඔහු පීතෘ කෙනෙකු වෙයි. අමරදේවගේ ගායනයන් තුළ තිබෙන නාද හා සාහිත්‍යමය පරිපූර්ණතාව අන් කිසිදු කලා කටයුත්තක ඇතැයි මම නොසිතමි.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන පරිදි සිංහලයේ 2500 ක ඉතිහාසය පුරා බිහිවූ මහා ගාන්ධර්වයා ආචාර්ය අමරදේවයන්ය. එය ඇත්තකි. අමරදේවයන් ගේ ගී මුතුවැල් තුළ එක්විට නින්නාද දෙන ලාංකීය බව හා විශ්වීය බව ඔහු සතු මහේශාක්‍ය බව කියා පායි.
අමරදේවයන් වයෝවෘද්ධය, දුබලය, රෝදුකින් පෙළේ. එහෙත් ඔහු තව බොහෝ කලක් ජීවත් විය යුතුව තිබේ. සැම ප‍්‍රබුද්ධ ලාංකිකයෙකුගේම ප‍්‍රාර්ථනාව විය යුත්තේ එයයි. මක් නිසාද යත් ඔහු නැති කලෙක ලංකාවට සහජාත කට පුරා කිව හැකි මහා පුරුෂයකු අපට අහිමි වන නිසාය.
”කංස ගහල එනකං උඹ උඩු බැල්ලෙන් හිටපං” යනුවෙන් ගයන ගී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබේ. ඒ ගී ක්‍ෂෙත‍්‍රයයි. කලා නොවන අනෙකුත් ක්‍ෂෙත‍්‍රයන්ගේ ද තත්ත්වය එසේමය.
විශ්ව විද්‍යාල ක්‍ෂෙත‍්‍රයේ බුද්ධිමතුන්ගේ සෝදා පාලූව කිව නොහැකි තිරම්ය. ඒ වායෙන් ශාස්ත‍්‍ර දානය කෙරෙන්නේ මහා විද්‍යාලයකටත් නොදෙවෙනි තරමිනි. නීති, දේශපාලන, ආගමික, හා අනෙකුත් සමාජීය, ක්‍ෂෙත‍්‍රයන්ද ඊට දෙවෙනි නැත. මර්වින් සිල්වා වැනි දේශපාලකයන් කිසිදු අපල උපද්‍රවයක් නැතිව දේශපාලන ක්ෂේත‍්‍රයේ වැජඹෙන්නේ ඒවා වැරදි යයි කියන්නට සමත් උදවිය ඒ ක්‍ෂෙත‍්‍රයේ නොවන නිසාය.
ශී‍්‍ර ලංකාව බොහෝ දේ සිදුවන සමාජයකි. ලෝකයේ ඈත කොණේ මුදාහරින තාක්‍ෂණ මෙවලම් නොපමාවම කොළඹට පමණක් නොව දෙහිඅත්තකණ්ඩියටත් පැමිණේ. ඇමෙරිකානු ඉංගී‍්‍රසියේ සරල වහරට එන නව යෙදුම් නොපමාව සිංහල සමාජයට පැමිණේ. එහෙත් ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳ වර්ධනයේ ඇත්තේ ඍණ අගයකි. සංගීතය වටා ගොනුවන නව තාක්‍ෂනික මෙවලම් සිංහල සංගීතයේ ඉරණම තීන්දුකර ඇත. එහෙත් පවරොට්ටිගේ සංගීතය කිහිප දෙනෙකුගේ සංගීත කාමරවලට පමණක් සීමාවී ඇත. රොහන් ඞී. සේරම් ධවල මන්දිරයේ නිල සංගීත කණ්ඩායමට ඇතුළු වන විට අපේ සංගීතය කංසා ගසමින් සිටිති.
සමාජයක් ඉදිරි හෝ ආපසු පිමි පනින්නේ දේශපාලනයේ නායකත්වයෙනි. ඉදිරි පිමි පැන්නවිය හැකි දේශපාලකයා නිර්මාණය කරන්නේ ජනතාවයයි කිව හැකිය. එහෙත් මම නම් එක්තරා දුරකට සපුමල් කුමාර සංකල්පය පිළිගන්නෙක්මි. ප‍්‍රාදුර්භූත වන නායකයෙකුට පමණි සමාජය වෙනස් කළ හැක්කේ.
භූතානය රජ පාලනයක් සහිත පසුගාමි රාජ්‍යයක් විය. එහෙත් එය ලෝකයේ සතුටින් සිටින්නන්ගේ දර්ශකයේ දෙවෙනියට පැමිණුනේ ය. ඒ දර්ශකය සකස්කළ ආයතනය, එය එසේවන්නේ ඔවුන් සතු අල්පේච්ච බව හා බෞද්ධාගමික පරිසරයෙන් ලද සහනශීලී පරිසරය නිසායයි නිර්දේශ කර තිබුණි. කිසිදු ගැටුමකින් තොරව රජුට අවනතව පාඩුවේ ජීවත් වූ භූතානයට ඊළඟට රාජ්‍ය හිමි කුමරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිළිණ කළේ භූතාන ජනතාවගෙන් මතුව ආ ඉල්ලීමක් නිසා නොවේ. ඔක්ස්පර්ඞ් උපාධිධරයෙකු වූ න්‍සටපැ ණයැි්ර කුමරු පිය රජුගේද ආශිර්වදය සහිතව භූතානයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිළිණ කළේ සංවර්ධනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්වැල් බැඳ ගන්නා බව අත් දැකීමෙන්ම දන්නා නිසාය. ඡුන්ද ක‍්‍රමයට ජනතාව හුරු කිරීමට තෙමේම තාවකාලික පක්‍ෂ දෙකක් තනා ඒවාට පාට දෙකක් හඳුන්වාදී ඒ පක්‍ෂ දෙකට ආකර්ශණීය හේතුපාඨද සපයා දී පෙරහුරු ඡුන්දයක් පැවැත්වීය. ඒ තමාට පෙර රට ගැන සිතන නායකයන්ගේ හැටිය. සමාජයක යුග පුරුෂයන් වන්නේ එවන් මහා වෙනසකට දායකවූ උතුමන්ය.
තම දෙමාපියන්ගේ ආර්ථික හයියෙන් අධ්‍යාපනය සඳහා බටහිරට ගිය පැරණි වමේ නායකයෝ දක්‍ෂ ලෙසත් කාටවත් නොදෙවෙනි ලෙසත් සිය අධ්‍යාපනික අරමුණු ජයගත්හ. එක ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ගිය ඔවුන් ආවේ ආචාර්ය උපාධි දෙක බැගින් ලබා ගනිමිනි. ඔවුන් සැමටම බටහිර රටවලටත් මේ රටවලත් හොඳ වෘත්තියමය ඉල්ලූමක් තිබිණ. ආචාර්ය එන් එම් පෙරේරාට වරෙක ලෝක බැංකුවේ අධිපති කමට පවා ඇරයුම් කෙරුණු බව කියැවේ. එහෙත් ඔවුන් ඒ සියල්ල වෙනුවට අලූත් දහමක් දේශපාලනයට හඳුන්වා දෙමින් එතෙක් කිසිදු දේශපාලකයෙක් අත නොතැබූ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ගේ විමුක්තිය සොයා දීමට සිය ජිවිත කාලය පුරා වෙහෙස විය. එය අවංකවම කළ නිසා ඔවුන්ට අමුතු රැුවටිලිකාර ඇඳුම් ආයිත්තම් අවශ්‍ය නොවීය. තමන් කැමති යුරෝපීය ඇ\ුම ඇඳගෙනම ඒ කටයුත්ත කළ හැකිවිය. පන්සල් පල්ලි ගානේ මල්වට්ටි අත ගැසීමට යායුතු නොවීය. කඳ බඩ ආරා නො ආ අතර කියනදේ කෙලිං කියන්නට හැකි විය.
මහා ගංවතුරකට පසුව සියලූ ගස් කොලං විනාශ වී ගිය කලෙක ඉතිරි වූ සුවඳැති සුදු හඳුන් පැලයක් සේ අමරදේවයන් ජාතියට ඉතිරිවී තිබේ. ඔහු නියෝජනය කරන්නේ අතීතය පුරා සුවඳ දුන් දේශපාලනික, සමාජීය ආගමික ක්‍ෂෙත‍්‍රයන්හී වැජඹුණු මහා පුරුෂයන්ගේ උරුමයයි. ඔහුගේ සංගීතයේ ඇති සංයමය, ගැඹුර හා මහේශාක්‍ය බව, ඒ අතීත මහා පුරුෂයන් නියෝජනය කළ ක්‍ෂෙත‍්‍රයන්හි සංයමය ,ගැඹුර හා මහේශාක්‍ය බවයි.
හැටේ හැත්තෑව දශකයන්හි කෙනෙකුට ලංකාව අතහැර යාමට උවමනා වී නම් ඒ සඳහා මාර්ග ඕනෑ තරම් තිබිණ. ආගමන නීති රීති අද තරම් දැඩි නොවීය. එහෙත් බොහෝ දෙනා රට අතහැරයාමට එතරම් උනන්දුවක් නොදැක්වීය. වෘත්තිය ක්‍ෂෙත‍්‍රයේ ඇතමුන් රට හැර යන විට ඔවුන් මව් රටට එරෙහි වන්නන් ලෙස හංවඩු ගැසිණි.
ඒ එසේ වූයේ ඇයි? එදා රටට බලාපොරොත්තුවක් තිබිණ. මහා පුරුෂයෝ, ක්‍ෂෙත‍්‍රය පිළිබඳ ප‍්‍රමාණිකයෝ, ඒ ඒ ක්‍ෂෙත‍්‍ර අරා සිටියෝය. ගසා කෑම සංකේවත් කරන කඳ බඩ අරා ගිය දේශපාලකයන් වෙනුවට එදා සිටියේ කෝච්චි සීසන් එකෙන් පාර්ලිමේන්තු ආ දේශපාලකයන්ය. අමරදේව, සුනිල් ශාන්ත වැනි සංගීතඥයන්ය. නීතියට අලූත් අර්ථයන් එක්කළ නීතිඥයන්ය. ලෙඩා ගසා කෑම නොව ඔහු සුවපත් කිරීම අරමුණු කරගත් වෛද්‍යවරුන්ය. ඒත් අද සියල්ල වෙනස්ව තිබේ.
අමරදේවයන් සිය අසූදෙවන උපන් දිනය සමරන්නේ මේ සා දුර් දශාවකට පත් කලියුගයකය. අතිෂයින් සමාජ සංවේදී ඔහුට මේ වෙනස වෙහෙසකර වේදනාවක් ගෙන එනු නිසැකය.
එහෙත් ඒ මහා ගාන්ධර්වයා මහාවංශය, ගල් විහාරය මෙන් අනාගතයට ඉතිරි කළ සංගීත දායාදය නොසැලී පවතිනු ඇත. ඒ දායාදයන් අතීත යුගයක ශ‍්‍රී විභූතිය කියාපානු නිසැකය.

සංගීත ආරණ්‍යයේ මුනිවරයාණෙනි,
ඔබට චිරං ජයතු.