පසන් පියසේ සිට…. මගේ ධන නිධානයෙන් බිඳක් ඔබට….
“එතෙක් තිබූ ගම මියයන්නට කෙකරගාමින් සිටි අවධියක, ඒ ලාංකික ගම පිළිබඳ සමාජ විපරිණාමයේ සංස්කෘතික අගසස් ඒ ගමේ එදවස පස් අතර සැඟවෙමින් තිබිණි. වැඩවසම් ක්රමයටවත් ධනේශ්වර වටිනාකම් වලට වත් නතු නොවූ එගම එකල ගෙවමින් සිටියේ ගම්ධබ්බ අවධියකි. ජීවිතය වෙත අනුරාගයෙන් බැඳෙන යෞවන යෞවනියෝ සතුට හා සැනසීම සොයා ගම හැර ගියෝය. සමහරු සටනින් ජය ගත් හ. සමහරු මරු මුව වැටුනහ. පරාජිත වූවන් නඟා සිටුවන්නට සමස්ත සමාජයෙන් මතුව ආ කිසිදු බලවේගයක් නොතිබුණි.”
මෙය පාසැල් අවධිය ඉක්මවූ විගසම වාගේ පළමු කොටස ලියා, ඊට පස් හය වසරකට පසුව දෙවන කොටස ලියමින් 1991 දී ප්රශස්ත නවකතාවක් ලෙසට ඇගයුමට ලක් වූ චන්ද්රරත්න බණ්ඩාරගේ පළමු නව කතාවේ පෙරවදනේ ඇති සිහිපත් කිරීමකි.
වන සපු මල – 1992 ඩී. ආර් විජේවර්ධන අනුස්මරණ සම්මානය
ප්රේමනිශංසය 2022 ස්වර්ණ පුස්තක සම්මානය හා විද්යෝදය සාහිත්ය සම්මානය
චන්ද්රරත්න බණ්ඩාරයන් ගේ නවතම නවකතාව ප්රේමනිශංසයයි. එහි ප්රධාන කාන්තා චරිතය වූ නිරූ ගේ චරිතය සෑම පිරිමියෙකුගේ සිහින ගැහැනිය වේදැයි කීමට මට නොහැක. නමුත් සමහර පිරිමි සිත් එවැනි ස්වාධීන ගැහැනු චරිත සොයන බවත් ඒ අය සමඟ සිතින් ජීවත්වන බවත් මම දනිමි.
අඩක් දමිළ කතක් වූ නිලූ ලංකාවේ වැළලී ගිය අතීතය ගැන දැඩි ඇල්මක් දක්වන්නියකි. නොකඩවා දුම්පානය කරන හා ඇය වටා සිටින අයව අභිබවා යන තරමට විස්කි පානය කරන ඇගේ සුන්දරත්වයෙන් හා ශක්තිමත් පෞරුෂයෙන් ඔත්පළව සිටින කතාවේ ප්රධාන චරිතය වන්නේ සයුරුය. ඔවුන් දෙදෙනා බැඳ තබන්නේ හා ඔවුන්ගේ ප්රේමයේ පදනම වන්නේ පුරාවිද්යාව කෙරෙහි ඇති ඇල්ම ය.
සයුරුට තම පවුල වෙනුවෙන් කිරීමට ඇති යුතුකමක් වෙයි. එය නම් තම පියා විසින් ඉදිකරන ලද පන්සලක බස්නායක නිලමේ ලෙස පිරිසිදු රූපය ඉදිරියටම ගෙන යාමයි.
චන්ද්රරත්න බණ්ඩාරයන්ගේ සැබෑ ජීවිතයේ ගුරුවරයා වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මෙම කණ්ඩායමට නායකත්වය දෙයි.
මෙම ප්රේමනිශංසයේ මුල් කොටසේ බොහෝ සිදුවීම් මට ශ්රී ලංකාවේ පුරෝගාමී පුරාවිද්යාඥ ආචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ චරිතය සටහන්ව තිබූ මයිකල් ඔන්ඩච්ච් ගේ ඉංග්රීසි නවකතාවක් වූ ‘අඳුරක කඳුළ’ ලෙසට චිත්රා අයි. පෙරේරා විසින් පරිවර්තනය කරන ලද Anil’s Ghost සිහිපත් කරවයි.
සියල්ලටම වඩා කම්පාවට පත් කරවන සිදුවීමක් වන්නේ, තම පෞද්ගලික මෙන්ම පවුලේ ගෞරවය සදාකාලිකව තබා ගැනීම සඳහා ඉතිහාසය නැවත ලිවීමට දැඟලූ පාලකයින් විසින් ආනන්ද කුමාරස්වාමි විද්වතාට කැප කළ මාර්ගයේ නම නෙළුම් පොකුණ මාවත ලෙස වෙනස් කිරීමට තීරණයක් ගැනීමයි.
මේ විච්චූරණ කොළඹ දකින්නට ජීවත් නොවීම නිරූගේ සීයා වූ ආනන්ද කුමාරස්වාමිගේ
පූරුවේ වාසනාවක් බව එක් අවස්ථාවක ගෘහ නිර්මාණ ශිල්පියෙකු හා පුරාවිද්යාඥයෙකු වූ සයුරු පවසයි.
”ලෝකෙම දන්න විද්වතෙක්ව සිහිපත් කරන්න ඒ වෙනුවෙන් කැප කරපු පාරේ නම වෙනස් කරන්න අපේ කාලයේ ප්රකට දේශපාලනඥයෙක් තීරණය කළාම අපේ සමහර කලාකාරයො, දේශපාලකයෝ එයා වටා එකතු වෙලා ජාතික ඛේදවාචකයකට එයාව උඩ දැම්මා.” සයුරු එම සිදුවීම සංසන්දනය කරමින් සඳහන් කරන්නේ එලෙසින් ය.
“කුමාරස්වාමි මාවතේ නම වෙනස් කරන්නයි හදන්නේ,” නිරූ තම සීයාට සිදු වූ බලවත් අසාධාරණය ගැන ඇගේම අදහස ප්රකාශ කරමින් තම මිතුරෙක් වූ කෙවින්ට පවසයි.
“අයියෝ එපා කරපු දේශපාලනයක් අනේ,” සමලිංගිකයෙකු වූ කෙවින් පිළිතුරු දෙයි.
“නෑ, කෙවින්, ඒක ඒ මිනිස්සුන්ගේ කැමැත්තනෙ,” නිරූ පවසන්නේ රටේ වර්තමාන අවුල් සහගත වාර්ගික දේශපාලනය සමඟ එකඟ වෙමිනි.
කතාවේ අග භාගයේදී ඔවුන්ගේ පවුල්වල තිබෙන මුල් බැස ගත් කුල ගොත් පිළිබඳව මතිමතාන්තර හා ඒවායේ ඇති නොගැලපීම හේතුවෙන් ඔවුන්ගේ සම්බන්ධතාවය බරපතල ආතතියකට ලක් වේ. මෙම ගැටුමට ප්රතිචාර වශයෙන් නිරූ සැනසීම පතා කේදර්නාත්, ධර්මශාලා සහ ලාසා වෙත වන්දනාවක යයි.
සයුරු ඇය සොයා එහි යයි…
ඔහුට නැවත ඇයව සමු වේවිද?
නමුත්, පාඨකයා නිරූට ආදරය කිරීමට පටන් ගන්නා විටම කතාව නතර වී ඇති බවක්
හැඟුණේ මා හට පමණක්ද?