“ජීවිතයට වෙනස් රිද්ම තියෙනවා…. මට එකක්…. ඔබට වෙන එකක්…”

“ප්රේමයේ දී පමණක් නොව අන් හැම කටයුත්තකදී ම නිරූට දෙවැනියා වන්නට සූදානම් වූ හද මනසක් මට වහ වහා සැකසිණි. සිය ජීවිතයේ විසඳාගත යුතු හැම ගැටලුවක් ම විසඳා ගත් උත්තර මනුෂ්ය භාවයක් ඇයට ඇතැයි මට සිතේ.”
(පිටු : 50)
“ආගම් කියන්නේ අපූරු මානව නිර්මාණයක්. අපි ජීවත් වෙන්නෙ ශිෂ්ටාචාරයේ ඒකට කරන්න පුළුවන් කාර්යභාරය නිම කරලා නිෂ්ක්රීය වන්න සූදානම් යුගයක. විද්යාව වැඩිකල් නොයාම ආගම්වල මිථ්යාමය කොටස පරාජය කරාවි. ඒත් මේ ලෝකෙ ශිෂ්ට මිනිස්සු බිහි කරන්න ඒ ඒ ආගම් බිහි කරපු කලාව, ආචාරධර්ම ඉටු කරපු කාර්යභාරය අමතක කරන්න බෑ… ඒ කටයුත්ත විද්යාවට කරන්න බෑ.”
(පිටු : 161,162)
“ඇයට ප්රේමය යනු, ජීවිතයේ සුපුෂ්පිත බව වෙනුවෙන් වූ එක් කාරණාවකි. එය ජීවිතයේ සමස්ථයට නොගැළපෙන විට ප්රේමය වුව ද හීන වී යන බව මා සමඟ පවසා ඇත. ප්රේමය නෙළුම් පොහොට්ටුවක් සේ පවිත්ර වීම ඇයට අත්යාවශ්ය ය. සත්යගරුක බව හා අවංක බව ඇය ප්රතිග්රාහකයාගෙන් බලාපොරොත්තු වේ. මා ද ඇගේ බලාපොරොත්තු වලට ගැළපෙන ලෙස වෙනස් මිනිසෙකු ලෙස ආත්මීයව රූපාන්තරණය වන සැටි ඈ දුටුවා ය. ඈ මා කෙරේ සානුකම්පිත වූයේ එහෙයිනි.”
(පිටු : 238)
ප්රේමානිශංස – චන්ද්රරත්න බණ්ඩාර Chandrarathna Bandara
| පසු සටහන
පුරුෂ මූලික සමාජයක සිය ජීවිතයම වීර චාරිකාවක් කරගත් ගැහැණියක් සහ ඇය හා පෙමින් බැඳී සිටිනා සෑම විටම ඇයගෙ විශිෂ්ඨත්වය අවබෝධ කරගනිමින්ම ඇයට දෙවෙනිව ඇය විසින් සපයා දුන් මග සළකුණු හා යමින් තම ආධ්යාත්මය සොයා යන්නා වූ පුරුෂයකුගේ කතාවක් ලෙස එක් පසෙකින් මෙම ප්රේමානිශංස කෘතිය හැදින්විය හැකියැයි මට සිතේ. පරන අවුරුද්දෙ අවසන් කියවීම වූ පාවුලෝ කොයියෝගේ සහීර් හි “එස්තර්” නම් ගැහැණියගේ විශිෂ්ටත්වය කියවූ මා හට නව වසරේ ශ්යාම්(නිරූ) නම් ගැහැණියගේ විශිෂ්ටත්වය ප්රථමයෙන් කියවීමට ලැබීම දෛවෝපගත මග පෙන්වීමක්ද යන්න මම නොදනිමි. කෙසේ නමුත් මෙය සෑම පාඨකයකු විසින්ම කියවාගත යුතු වන්නා වූ කෘතියක් වන බව ආරම්භයේදීම සටහන් කර තිබිය යුතුය. එසේම මෙය 2022 වර්ශයේ ස්වර්ණපුස්ථක සම්මානයෙන් සහ විද්යෝදය සාහිත්ය සම්මානයෙන් පිදුම් ලැබූ එම වසරේ විශිෂ්ඨතම නවකතාව වේ.
මෙහි ප්රධාන චරිතයන් වනුයේ ශ්යාම්(නිරූ) සහ සයුරු වේ. ශ්යාම් යාපනයේ සංකිලි රාජ පරම්පාරාවෙන් පැවත එන්නා වූ කුමාරස්වාමි පරපුරේ කෙනෙකු ලෙස අපට හමුවේ. සයුරු පැවත එනුයේ සාමාන්ය රා මදින්නාගේ සිට ක්රමයෙන් අරක්කු රේන්ද කර්මාන්තයෙන් ධනවත් වූ ඉංග්රීසි පාලන සමයේ එම අධිරාජ්යය වෙනුවෙන් ඉතා පක්ෂපාතීව සිටි ධනවත් පවුලකින් වේ. ඔවුන් දෙදෙනා අගනුවර ඔවුන්ගේම ගිහි ආරාමයක් තනාගනිමින් ගෙන යන්නා වූ ජීවිතයෙන් මෙම කතාව ඇරඹේ. මා හට මෙහි මුල් අර්ධය සෙමින් චරිත ගැන සවිස්තරාත්මක ගලා බැස්මක් ලෙස හැඟී යන ලදී. නමුත් සයුරුගේ පියාගේ අපහාස ඉවසිය නොහැකිවීමෙන් පසුව නිරූ ගිහිඅරමෙන් නික්මයෑමෙන් පසු අර්ධය කුණාටුවක් ලෙසින් මාගේ පාඨක මනස තුළ හමායෑමට විය. මෙම කෘතියේ භාෂා ස්වභාවය එම සියළු කරුණු චිත්රපටයක් ලෙස අප මනසේ ඇඳ දැක්වීමට සමත් වේ. විටෙක අප ප්රේමයෙන්, ස්ත්රීවාදී ස්වභාවයෙන් ද විටෙක කුලය, සමාජ තත්ත්වයන්, අධ්යාත්මික සංචාර ලෙසින්ද පාඨකයන් ලෙස කෘතිය තුළ ගිලී යනු ලැබේ.
මෙම කෘතියේ මාගේ ප්රියතම ස්වභාවය වූයේ ගැහැණිය විසින් දරන්නා වූ විශිෂ්ඨ ස්වභාවයයි. ප්රධාන වශයෙන් කාන්තා චරිත 4 ක් හරහා ඇදී යන මෙම කෘතිය එහි සිටිනා වූ පිරිමින්ට වඩා ඥානයෙන්, ජීවනාවබෝධයෙන් සහ දැක්මෙන් පුළුල් ගැහැණුන් පාඨක අප වෙත මුන ගස්වනු ලබයි. ඔවුන් සියල්ලන්ම කිසියම් අධ්යාත්මික චාරිකාවක නිරතව සිටින්නා වූ ගැහැණුන් වේ. නිරූගේ නික්මයෑමෙන් පසුත් ඉන් පෙරත් යම් අනන්යතා අර්බුධයක ගිලී සිටි සයුරු විසින් ඇය සොයා යෑම අරඹනු ලැබීම මෙම කෘතියේ තීරණාත්මක අවස්ථාවක් වේ. පෙර සිටම ජීවන දර්ශණයක ආලෝකය සයුරු වෙත ලබා දෙමින් සිටි නිරූ විසින්ම, මෙම ගවේශනය ඔහුට ඔහුවම සොයාගත හැකි යමක් බවට පරිවර්තනය කර දෙනු ලබයි. ඇය සොයා ‘ලාසා’ වෙත ඇදෙන ඔහුගේ ගමනේදී තවත් සංධිස්ථානයක් ලෙස ‘ධර්මශාලා’ පත්වනුයේද ඒ ආකරයටම ය.
“ඔය නිකම්ම නිකං ගෑනියෙක් සොයා ලුහුබඳින මේ ගමනේ ධර්මශාලාවලට ගිහිං දලයි ලාමා තුමන් බැහැදකින්න උත්සහ කරන්න. ඒ හමුවීම හා ඉනික්බිති ඔබ මා සොයා එන ගමන අපේ ජීවිත වලට අලුත් අර්ථයක් සපයාවි.”
නිරූ ද, ‘ධර්මශාලා’ හීදී ඔහුට හමුවන සොෆියා ද, සයුරුගේ මව සහ නිරූගේ මවද ඔහුට ඔහු සොයා යෑමටත් ඔහුව නව තීර්ථයක් වෙත ගොඩ කිරීමටත් උපකාරී වනු ලැබේ. සරළවම එම ගැහැණුන් විසින් සයුරු වෙත නව අධ්යාත්මික උපතක් ලබාදෙනු ලබයි.
කතාව තුළ සටහන් කළ යුතු දෑ බොහෝ තිබුනද එය කියවා රස විඳීම පාඨක ඔබට භාරකරමි. මෙය ඉතා සංයමයෙන් යුතුව ලියවුණු විවිධ දැනුම් පද්ධතීන් ගැන ආශාවක් ජනිත කරවන ආකාරයේ කෘතියකි. පාඨකයකු ලෙස මා හට ජීවිතය සොයා යෑමේ ආශාව ජනිත කළ ප්රථම සිංහල නවකතාව වූයේ මෙය බවද මම සටහන් කරමි. මීට පෙර ඛලීල් ජිබ්රාන්, හර්මන් හෙස, නිකෝස් කසන්ත්සාකිස් වැනි ලේඛකයන්ගේ කෘතීන් කියවා ලද ආශාවම මින් ජනිත විය. ඊටත් වඩා ජීවිතයේ සිහිනයක්ව පැවති “නිරූ” කෙනෙකුගේ සිහිනයට තවත් අඩුම කුඩුම සැපයීමක් මින් සිදුවිය. සහීර් හි “එස්තර්” සිය ස්වාමිපුරුෂයා ඔහු ඔහුවම සොයා ගනිමින් තමා වෙත එන තෙක් ස්ටෙප්ස් තෘණ භූමියෙහි රැඳී සිටි ආකාරයෙන්ම “නිරූ” විසින් සයුරු තමාවම සොයාගනිමින් ඇය වෙත එන තෙක් ලාසා හි රැදී සිටී. ජීවිතය සොයා යන්නා වූ මිනිසුන්ට නිරූලා හමුවිය යුතුමය. නිරූ කෙනෙක් නොමැතිව එවන් මිනිසුන්ට පරිපූර්ණ විය නොහැක. විශ්වීය මිනිසා බිහි කළ හැක්කේ ද, බිහි විය හැක්කේ ද එලෙසම පමණි.
සටහන කෘතියේ කොටසකින් මෙසේ අවසන් කරමි.
“ජීවිතයට වෙනස් රිද්ම තියෙනවා…. මට එකක්…. ඔබට වෙන එකක්…. ඔබ ඔබේ නිවැරදි බව ඇතුළෙන්ම සොයා ගන්න බලන්න….”