ඉතිහාසගත අඳුර ප‍්‍රබන්ධයේ ආලෝකයෙන් විනිවිදින ප්‍රේමානිශංස
ඉතිහාසයක් ප‍්‍රබන්ධගත කිරීම සීරුවෙන් කළ යුත්තකි. විශේෂයෙන් ඉතිහාසයත් ප‍්‍රබන්ධයක්ම වූ විටෙක එය වඩාත් සීරුවෙන් කළ යුත්තකි. එම නිසාම පරිකල්පනයේ සීරුමාරුව ඉතිහාසයක් මත අතුරද්දී ප‍්‍රබන්ධකරුවා ඉතිහාසයේ වසඟයෙන් ගැලවිය යුතුය. ඓතිහාසික මූලාශ‍්‍රයන් මතින් ප‍්‍රබන්ධය වියන්නෙක් මේ කරුණ මතකයේ තබා ගැනීම අතිශය වැදගත්ය. නැතහොත් අපට හමුවනුයේ ඉතිහාසයේ පුනරුච්චාරණයකි. නවකතාවකට ඉතිහාසයක් ඈදීමේදී ප‍්‍රබන්ධ රචකයා ඉතිහාසය අතේ දුරින් තබාගත යුත්තේ මෙහෙයිනි. නැතහොත් සිදුවන්නේ ප‍්‍රබන්ධ රචකයාටත් නොදැනීම ප‍්‍රබන්ධය ඉතිහාසයෙන් වැසී යාමය. මේ සීරුමාරුව නොදන්නා ඓතිහාසික නවකතාකරුවන් අතින් නවකතාව වෙනුවට ලියවෙනුයේ ඉතිහාසය පිළිබඳ තව කතාවකි. මෙය ඓතිහාසික නවකතාවලට පමණක් සිදුවන්නක් නොව කිසියම් ප‍්‍රබන්ධයක් වෙනුවෙන් කරුණු ගවේෂණයේදී ද ප‍්‍රබන්ධ රචකයන් අතින් සිදුවන වරදකි. ඇතැම් නවකතා පර්යේෂණ පත‍්‍රිකා බවට පත්වී තිබුණේද කිසියම් ප‍්‍රබන්ධයක් වෙනුවෙන් ඔහු හෝ ඇය සොයන කරුණු සියල්ල තම ප‍්‍රබන්ධය මත දිගේලි කිරීමට යාමෙනි. මේ නිසා අතිශය වටිනා ප‍්‍රබන්ධමය අත්දැකීම් පර්යේෂණ පත‍්‍රිකා මට්ටමට පත්වී තිබෙනු පසුගිය කාලයේ දක්නට ලැබිණි. බොහෝවිට මින් සිදුවන්නේ ප‍්‍රබන්ධය හේතුඵලවාදයට යටවීමකි. මෙය සිදුවන්නේ බොහෝ ප‍්‍රබන්ධ රචකයන් තථ්‍ය යථාර්ථයම ප‍්‍රබන්ධමය යථාර්ථය ලෙස වරදවා වටහා ගැනීමෙනි. ඓතිහාසික මූලාශ‍්‍ර පදනම් කරගත් නවකතා හෝ සත්‍ය සිදුවීම් පාදක කරගත් නවකතා රචනයේදී මේ වරද බහුලව සිදුවේ.
චන්ද්‍රරත්න බණ්ඩාරගේ ප්‍රේමානිශංස ඇස ගැටෙනුයේ එලෙස ඕලාරික නවකතා කියවා හෙම්බත්ව සිටි මොහොතකය. එය වඩාත් සිත් අඳනා නවකතාමය අත්දැකීමක් වූයේ බොහෝදෙනෙකු වරදවා ගන්නා යථාර්ථමය ශානර කුලකයේම නවකතාවක් ලෙස එය ආඛ්‍යානගතව තිබීම නිසාය. යථාර්ථයට ප‍්‍රබන්ධමය ජීවය රැුගෙන එන්නේ කෙසේ දැයි යන්නට එය කදිම නිදසුනකි. වෙනත් ලෙසකින් පවසන්නේ නම් ඉතිහාසගත අඳුර ප‍්‍රබන්ධයේ ආලෝකයෙන් විනිවිදින්නේ කෙසේ දැයි දැක බලා ගන්නට එය මහඟු පිටුබලයකි.
‘ප්‍රේමානිශංස’යට පාදක වන්නේ සිය පරම්පරාවන්ගේ අක්මුල් සොයා යන තරුණියක සහ තරුණයෙකි. තරුණිය නිරූය. කතාව දිග හැරෙණුයේ උත්තම පුරුෂ භාෂණයකිනි. තරුණියට ඇත්තේ දෙමළ සම්භවයකි. නිරූගේ මුත්තා දෙමළ වුව ද ඇගේ මුත්තම්මාට ඇත්තේ බි‍්‍රතාන්‍ය සම්භවයකි. නිරූගේ පෞරුෂ වර්ධනයේ හැඩතල නිර්මාණය වී ඇත්තේ එම ඓතිහාසිකත්වයේ කෙටි ඉතිහාසය ඇසුරේය. ඈ නූතනත්වයට ඇවිද ආවේ සංස්කෘතික ඉතිහාසයක පියසටහන් මතිනි. ඇගේ රැුඩිකල්භාවයන්, නවීනත්වයන්, මානුෂවාදී ගුණයන්, අනෙකා ඉවසීම මෙන්ම දරා ගැනීම් ද ආදරය ද එම පවුල් පසුබිමෙන්ම ඈ වෙත ආ දායදයන්ය. ඇය ඓතිහාසික සංස්කෘතික ප‍්‍රභූත්වයක වර්තමානිකාවකි. ආනන්ද කුමාරස්වාමි නම් ලංකාවේ සිංහල කලා ඉතිහාසයේ (බෞද්ධ)කීර්ත්මත් දමිළ විද්වතා සහ ගවේෂකයාගේ මිනිපිරියයි. ඇය ඉතිහාසයේ ප‍්‍රබන්ධාත්මක බව සැක නොකල වත්මන් පරපුරේ පුරාවිදු ගවේෂිකාවකි. ඒ නිසාම ඇගේ ඉමහත් ගෞරවයට පාත‍්‍ර වී සිටින ආනන්ද කුමාරස්වාමි සීයා පවා නඩත්තු කළ සංකිලි රාජ පරම්පරාවේ ඉතිහාස පුරාවත දෙස ද ඇය හෙළුවේ සැක මුසු බැල්මකි. ඉතිහාසයට ආශක්ත වුවද එහි ප‍්‍රබන්ධිත බව පිළිබඳවද ඇයට අවබෝධයක් තිබිණි. ඇය වැඩිපුර ඇළුණේ එහි සංස්කෘතික නිමවුම්වල කලාත්මක බවෙහිය.
නිරූට සිය ප්‍රේමවන්තයා වූ සයුරු මුණ ගැසෙනුයේ මහාචාර්ය බණ්ඩාරනායකගේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අපේක්ෂිකාවකව සිටිය දීය. සයුරුද එම සිසු කණ්ඩායමේ සාමාජිකයෙකි. සයුරුට ඉසුරුමත් දිවියක් හිමිව තිබුණද නිරූට මෙන් පොහොසත් සංස්කෘතිකමය ජීවිතයක් හිමිව තිබුණේ නැත. සයුරු බැබලූණේ නිරූගේ සංස්කෘතික දිවියේ එළියෙනි.
සයුරුගේ සීයා ධර්මපාල අනුගාමික බෞද්ධයෙකි. සයුරුගේ පිය පාර්ශ්වයේ බලයේ මෙවලම වූයේ මෙම ධර්මපාලීය බුද්ධාගමය. ආගම මෙන්ම කුලය ද සමාජ බලයේ මෙවලම් වෙද්දී, පදුමාරාමය සයුරුලාගේ කුලයේ බුද්ධාගම විය. තම ආගමේ කුලය ඔසවා තැබීමද ශාසනය තුළ තම බලය ඔසවා තැබීමට අවැසිය. මේ බව සයුරුගේ සීයා මනාව වටහාගෙන සිටියේය. පදුමාරාමය ගොඩනැගුණේ ඒ වෙනුවෙනි. ඊට මුල්ගල් තැබෙන්නේ පොරෝලිස් විලමුලගේලා රේන්ද කර්මාන්තයෙන් ඉපැයූ මුදල්වලිනි. පදුමාරාමයේ නායක හාමුදුරුවන්ට බුදුන්වහන්සේටත් වඩා පොරෝලිස් විලමුලගේ වැදගත් වන්නේ එහෙයිනි. ශාසන බලයේ තම පැවැත්ම පවතිනුයේ විලමුලගේලා අතය. පසුව මිනිරන් කර්මාන්තයයෙන් තම ධනවාදය ඔපමට්ටම් කර ගත්තද ඒ බලය වෙනුවෙන් නිර්ලෝභීව වැය කිරීමට මූලධනය ඉනුවේ පොල් මලේ සාරයෙනි.
රේන්ද කර්මාන්තය යනු බුදුන් අනුදැන වදාල, නොකළ යුතු කර්මාන්ත පහෙන් එකකි. එහෙත් වර්තමානය වන විට ලංකාවේ සිංහල බෞද්ධාගමේ රැකවල්කරුවෝ වී ඇත්තේ පදුමාරාම බෞද්ධයෝය. ආගමේ නාමයෙන් ජාතියේ සුජාතකරණය වෙනුවෙන් යුද්ධයට පිරිත් සජ්ජායනා කළේද ඒ වෙනුවෙන් කිරිපිඬු පූජා පැවැත්වූයේද මේ පදුමාරාම බෞද්ධයෝය. ජාතියට මඟ කීවෝද, ජාතියේ ඇස් වැසුවෝද මොවූහුය. අවිහිංසාව පදනම කොටගත් දහමක් කළහකාරි ආගමක් බවට පිරිහෙළුෑවේ මෙම පොල් මලේ මත, දැඩිමේනි වූ හිමිවරුන්ගේ ග‍්‍රහණයට ලක් වූ බුදුන්ටත් වඩා පොරෝලිස්ලාගේ මුදල් මතින් නැගී සිටි මකර තොරන් බුද්ධාගමය. ඈත රජරටින් පොල් මලක් ගසාගෙන පැමිණි වන්දනා බසයේ පූජ්‍ය පක්ෂයට වෙන් වූ අසුනේ ආ හිමිනම නියෝජනය කරනුයේ මේ මකරාගමය.
දඹුලූ ගල් තලාව මත සයුරුගේ සහ නිරූගේ ආදර හාදුවට කඩා පැන්නේ සයුරුලාගේ මුත්තප්පලාගේ පොල්මලේ සාරයෙන් දැඩිමේනි වූ මේ පුදුම බෞද්ධ තරවටුවය. එම තරවටුව තර කෙරුවේද සයුරුලාගේ මුත්තාගේ, සීයලාගේ සහ වර්තමානයේ සයුරුගේ තාත්තලාගේ ක‍්‍රියාකාරකම්මය. වෙනත් වචනවලින් කියනවා නම් සයුරු දැන් මේ නෙලමින් සිටින්නේ රෙද්ද අස්සෙ මහත්තැන්ලා වැපුරූ අතීත අස්වැන්නය. විටෙක, සයුරුගේ ඇනෙක්සියේ ඇති පොරෝලිස් විලමුලගේ පින්තූරය දෙස බලාගෙන නිරූ නගනා සදය සිනාවේ කැටිවී තිබුණේත් එයමය. ‘‘ඇයි ඔයා ඔච්චමට වගේ හිනා වෙන්නේ’’ යැයි සයුරු විමසනා විට ‘‘නෑ මේ පින්තූරෙ දකිද්දි මට වීරප්පන් මතක් වුණා’’ යැයි ඇය පවසද්දී එහි ඇත්තේ ඒ කල්ල කඩත්ත ඉතිහාසයට ඇති ඇගේ සරදමයි. එය කෙතරම් සරදමක් වුවද ඒ ඉතිහාසගත සරදමින් සයුරුට ගැලවීමක් නැති බවද ඇය පිරිසිඳ දැන සිටියාය. එය සයුරුද නොදැන සිටියා නොවුණද ඔහුට ඉන් ගැලවීමක් නොමැත. මන්දයත් ඔහුට ලැබී ඇති මේ ඉසුරුබර දිවිය ඒ කල්ලකඩත්තකම්වල වත්කම්ය. ඒ නිසා ඔහුට ඒ ඉතිහාසමය උරුමයට කරගැසීමෙන් ලෙහෙසියෙන් වැළකිය නොහැකිය.
සයුරුලා සහ නිරූලා පුරාවිද්‍යා පශ්චාත් උපාධි සිසු සිසුවියන් ලෙස බණ්ඩාරනායක සර්ලා සහ එක්ව හාරා පාදමින් තිබෙනා සංස්කෘතියත් කලා ශිල්පත් මහපොළොවට යට වෙද්දී සයුරුලාගේ මුත්තලා, සීයලා සහ තාත්තලා මහපොළොව මත ඉදි කරමින් සිටිනා දාගැබ් වඩාත් සුවිශාලය. එහි ඇති හානිකර බව නිරූ හොඳින් වටහාගෙන සිටියාය. ‘‘බුදු දහම රකින්න වගේම බුදු දහම නසන්නත් වෙහෙර විහාර හදන්න පුළුවන්’’ යනුවෙන් ඇගේ මුවින් විටෙක කියවෙන්නේ එහෙයිනි. නිරූගේ සහ සයුරුගේ ආදර චුම්බනයට කඩා පනින්නේත්, නිරූගේ සහ යයුරුගේ ගේහසිත ප්‍රේමයට එරෙහිව ජාතියේ අවියෙන් කොටන්නේත් පදුමාරාම කුලකයේ ‘සඳහිරු සෑ බුද්ධාගම’ය. එය ආදරයට එරෙහිය. විරසකයට පක්ෂය. එය ප‍්‍රඥාවට එරෙහිය. මිථ්‍යාවට පක්ෂය.
පාඨක මනස නොපාරා ඉතිහාසයක් මත සීරුවට අඩි තබා ඇවිද යමින් ඉතිහාසයක අඳුර ප‍්‍රබන්ධ මානයකින් විනිවිදින්නේ කෙලෙස දැයි යන්නට ප්‍රේමානිශංස අපූරු භාවගීතයකි. ඒ භාවගීතය ගැයීමේදී චන්ද්‍රරත්න බණ්ඩාර භගවත්ගීතාවත්, සුපී දහමත් ,මහායාන බුදුදහමේ දාර්ශනික හර පද්ධතියත් , ඉතා අපූරුවට ඉවහල් කර ගනී.
ප්‍රේමානිශංස කෘතියේදී චන්ද්‍රරත්න බණ්ඩාර තිබ්බතය, දලයිලාම ආශ‍්‍රම හරහා පාඨකයා රැුගෙන යන සොබාදහම සහ මිනිසා අතර පාරිසරික සංචාරය ද ජීවිතාවබෝධය පුළුල් කරන්නකි. පරිසරය ගැන නොසිතා කරනා සංවර්ධන ව්‍යාපෘති මොන තරම් ව්‍යසන මිනිසාට උරුම කර දෙන්නේ දැයි යන්නද කේදර්නාත් ඛේදවාචකය හරහා ඔහු මැනවින් නිරූපණය කරයි.
නිරූත් සයුරුත් හැරුණු කොට මේ කතාවේ සෙසු ස්ත‍්‍රී චරිත වන නිරූගේ අම්මාත්, සොෆියාත්, සයුරුගේ අම්මාත් හරහා සාහිත්‍යය තුළ ස්ත‍්‍රිය තුළ පවතින ප‍්‍රඥාමාර්ගික විභවයත් දයාර්ද බවත් හුදු ස්ත‍්‍රීවාදයෙන් ඔබ්බට විහිද යන මානවීය සිතුවමක් නිමවයි. අඩපිරිමින් ලෙස සමාජ පරිහාසයට පාත‍්‍රකොට සලකන ජනකොටසක තරුණයෙකු වන කෙවින් හරහා මනුෂ්‍යත්වයේ පූර්ණ බවත් දයාර්ද බවත් පිළිබඳ සිතා බලන්නට අසංස්කෘතිකමය සමාජයකට අගනා සංස්කෘතික කවුළුක් ද විවර කරයි.
මා පෙරදිත් සඳහන් කළ පරිදි සාහිත්‍යයක් මගින් ඉතිහාසයක අඳුර විනිවිදිය හැකිය. එය කළ හැක්කේ ඉතිහාසයක් එලෙසින්ම වනපොත් කිරීමෙන් නොව එය හාරා පාදා කැණ බැලීමෙනි. ඊ.එච්. කාර් ඉතිහාසය යනු කුමක්දැයි කෘතියේදී මෙවැනි අදහසක් පළකළ කර තිබුණි.
ඉතිහාසය යනු අතීත පාලකයන්ගේ අනාගත කැමැත්තය….
අතීතයේ ලැග සිටින්නන්ට ඒ අතීත කැමැත්ත වර්තමානය ලෙසින් යාවත්කාලීන වී තිබෙයි. ඒ අතීතයෙන් පැමිණි පදුමාරාම ආගමික පරපුරේ ගිජු ලිහිනියන්ගේ පීඩනයන් දරාගත නොහැකිව වරෙක සයුරුගෙන් සමුගෙන යයි. නිරූ ගැන කිසිදු ආරංචියක් නොමැතිව ඉබාගාතේ ගිය සයුරුගේ පිහිටට සහ සහනයට සිටින එකම මිනිසා වනුයේද නිරූගේම මිතුරෙකු වූ අඩපිරිමියෙකු ලෙස පිළිකුලට භාජනය වී සිටි කෙවින්ය. කෙවින් කෙතරම් දයාර්ද මිනිසෙකුද යන්න සයුරු වටහාගන්නේ ද එම හමුවෙනි. නිරූ සිය මෑනියන් සමඟ ගිය ආගමික සංචාරයේ කෙළවරකදී සයුරුට අසීරු සොයා යාමක් අවසන යළිත් ඇය හමුවෙයි. ඒත් ඒ වෙද්දී ඇය සිටියේ රෝහල් ඇඳක් මතය. ඒ සයුරුගේ දරුවෙකු ලොවට තිළිණ කළ මවක් ලෙසිනි. ඒත් ඔවුන්ගේ දරුවා ඔවුන්ට අහිමි විය. ඒ අහිමිවීමට හේතුපාද වූයේ වර්තමානයද එම ඉතිහාසගත අඳුරෙන් වැසීයාමය. චුම්බනයකට ඉඩක් නැති, වාර්ගිකත්වය මනුෂ්‍යත්වයට ඉහළින් එසෙවෙනා මකර තොරණ් සහ ගිජුලිහිනි පියාපත් රැුකවරණයට යට වූ අසංස්කෘතික ආගමික පරිසරයක සහජීවනීය සබැඳියාවක ආදරයක් සුපිෂ්පිත වීමට තවමත් ඉඩ හසරක් නොමැතිය.
ප්‍රේමානිශංස නිමවනුයේ හිත් පෑහුණත් අප තවමත් දවසරින්නේ ජාති කුල මතින් කඩතුරා බැඳෙනා බිමක බව සිහිපත් කරමිනි. එය වෙනස් කිරීම සාහිත්‍යමය කාරණයකට එහා ගිය දේශපාලන කාර්යයකි. ප්‍රේමානිශංස ඒ සඳහා වන කමටහමනකැයි මට සිතේ. සෙන් බුදු දහමත්, දලයිලාමාතුමාත් ගවේෂණයත් එකතැන ලැග නොසිටින නිරන්තර සංචරණයෙන් උකහාගන්නා ලෝක සංස්කෘතික හැදෑරීමුත් සම්මිශ‍්‍රණයත් ඒ සඳහා වන ඇවිද්ද පයත් දහස් වටී. විලමුලගේලා එක තැන ලැග සිටිද්දී කුමාරස්වාමිලා එම සංස්සකෘතික විවිධත්වයන්ගේ සාරය උකහාගනිමින් ලෝ පුරා සංචාරයේ නියැළුණහ. පරම්පරා දෙකක ඉතිහාස කතාවන් දෙකක් සම්මිශ‍්‍රණය කරමින් අගතීන් සහ ප‍්‍රගතීන්ගේ සම්මිශ‍්‍රණයෙන් ඇඳි මේ භාව සිතුවම නව අනාගත සිතියමකට පෙරළා ගැනීම පාඨක කාර්යයකි.
ප‍්‍රියන්ත ලියනගේ